කේ.ඩබ්ලිව්.ජනරංජන
ආශ්චර්යයක් සිදුනොවුණහොත්, මේ සතිය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගන්නවා ඇත. ඒ සමගම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සඳහා ගමනෙහි මීළඟ පියවර ඇරඹෙනවාද ඇත. මුළු මහත් ලාංකේය සමජයම නින්දාසහගත නිහඬතාවක ගල්වනු ලැබ තිබියදී, මේ සතියේදී පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි කිහිපයක් එහා මෙහා කිරීමෙන් නීතිගත කරගන්නට බලාපොරොත්තු වන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන ලද අතිශය භයානක සංශෝධනයන්ගෙන් ප්‍රමුඛතම එක බවටද පත්වනවා ඇත. එමගින් මෙතෙක් ලංකාවේ පැවැති, ආචාර්ය එන්එම්. පෙරේරා විසින් ව්‍යවස්ථාපිත 'අර්ධ ඒකාධිපතිත්වයක්' ලෙස හඳුන්වන ලද්දා වූ, අතිශය විනාශකාරී, අත්තනෝමතික විධායක ජනාධිපතිධූරය ව්‍යවස්ථීපිත 'පූර්න ඒකාධිපතිත්වයක්' කරා ඔසොවා තැබෙනවා ඇත.
ලංකාවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යව තිබිණි. විශේෂයෙන් අවුරුදු තිහක් පුරා පැවති වාර්ගික යුද්ධයක් අවසන්වීමෙන් පසු එළැඹුණු නව අවස්ථාවන් රටේ ඉදිරි ගමන සඳහා අත්‍යවශ්‍ය වන ප්‍රතිසංස්කරණ දිශාවට තල්ලුකර ගැනීම සඳහාත්, රටක් වශයෙන් එහෙක් මුහුණ දුන් වාර්ගික ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගැනීම, රටේ යහපාලනය සඳහා විධිවිධාන ඇතිකිරීම, මැතිවරණ ක්‍රමයේ සංශෝධන ඇතිකිරීම, ඉහවහා ගොස් ඇති වංචා හා දූෂණ වැළැක්වීම සඳහා ප්‍රතිපාදන ඇතිකිරීම ආදි වූ අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහාත් සුදුසු විධිවිධාන සහිත අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යව තිබිණි. ඒ සියල්ලටම වඩා ඉහළින් තිබුණේ යුද්ධය සේ ම අවුරුදු තිහක් තිස්සේ ලංකාවට මහත් විපත් ගෙන ආ, රටේ නීතියට ඉහළින් සිටින අර්ධ ඒකාධිපතියකු බිහි කරන විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීම (නැතහොත් නීතියට යටත්වන තත්ත්වයකට එය පත්කිරීම) පිළිබඳ අවශ්‍යතාවයි. යුද්ධයකින් පසු බොහෝ රටවල් කරන්නාක් මෙන් තමාගේ මෙතෙක් ගමන දෙස ආපසු හැරී බලා මේ අවශ්‍යතාවන් ආමන්ත්‍රණය කැරෙන වෙනස්කම් ලංකාවද සිදු කරනු ඇතැ'යි බොහෝ දෙනා බලාපොරොත්තු සහිතව සිටියහ. මහින්ද රාජපක්ෂ මහතාද 2005 දී මහින්ද චින්තනය මගිනුත්, 2010 දී මහින්ද චින්තන ඉදිරි දැක්ම තුළිනුත් මේ වෙනස්කම් සඳහා කැපවන බවට ප්‍රතිඥා දී තිබිණි. කොන්දේසි විරහිතව රාජපක්ෂ මහතා ආරකෂා කළ බුද්ධිමත් සමාජ ස්ථරයන්ද අපේකෂා කළේ, තිස් අවුරුදු යුද්ධයේ 'සාපයෙන්' රට මුදා ගත්තා සේ ඉන්පසු ලංකාව ආසියාවේ නොව ලෝකයේම ආශ්චර්යය බවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඔසොවා තබනු ඇති බවය.
මේ ප්‍රතිසංස්කරණවලට ප්‍රවේශ විය හැකි එක් මාර්ගයක් වූයේ පූර්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසකට යෑමයි. ඒ සම්බන්ධයෙන්, 2006 දී පත් කරන ලද සර්ව පාක්ෂික සමුළුවද ඇතුළුව රටේ විවිධ ස්ථරවල සෞඛ්‍යමත් සාකච්ඡා ඒ වන විටත් ඇරඹී වැඩි ගොස් තිබුණු අතර, අවශ්‍යව තිබුණේ එම පුළුල් අදහස් සලකා බැලීමකින් පසු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සම්මුතිකාමී එකඟතාවකට එළැඹීමයි. ලෝකයේ පිළිගත් ප්‍රජාතාන්ත්‍රික මූලධර්මවලට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩනගන්නේ ඒ ගැන විවෘත, කාර්යක්ෂම, සියලු දෙනාම ඇතුළතට කැඳවාගත් සාකච්ඡා මාලාවක් හරහාය. ඉන්දියාව, දකුණු අප්‍රිකාව, වැනි රටවල් සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිර්මාණය සඳහා අවුරුදු ගණන් කාලය වැය කොට තිබේ.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් වූ විගසම, රටේ ගැටලුවලට පිළියම් යොදන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවූයේය. රාජපක්ෂ සාරයක් ගැන විශ්වාසය තැබුවෝ වර්ණනා කළෝ, ජනාධිපතිවරයා එහෙක් නොතිබූ විශිෂ්ට සම්ප්‍රදායයක් ඇතිකරමින් සම්මුතිකාමී දේශපාලනයක් ආරම්භ කොට ඇති බවය. එහෙත් මහජන මුදල් වැයකරමින්, සාකච්ඡාවාර පවත්වමින්, සර්ව පාක්ෂික කමිටුව විසින් කෙටුම්පත් කර ජනාධිපතිවරයාට භාර දෙන ලද, බොහෝ දුරට ඉදිරිගාමී වූ ආණ්ඩුක්‍රම යෝජනාවලියට අවසානයේ හිමිවූයේ අරලියගහ මන්දිරයේ කුණුමුල්ල ය. ඒ අතර, 2006 අගභාගයේදී රටේ වැදගත් වෙනස්කම් සඳහා එක්ව වැඩකිරීමට එක්සත් ජාතික පක්ෂය හා අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට පයින් ගසමින් එම පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් ආණ්ඩුවට එකතු කර ගන්නා ලදී. පසුගියදා නැවත වාරයක් ආණ්ඩුක්‍රම වෙනස්කම් ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරනු ලැබිණි. රනිල් වික්‍රමසිංහ මහතා එහි ගියේ පක්ෂය තුළමත් ඒ පිළිබඳ විරෝධතාවක් නැගෙමින් තිබියදීය. මහින්ද රාජපක්ෂඹ මහතාගේ දේශපාලන භාවිතාව ගැන අත්දැකීම් ඇත්තවුන් මේ සාකච්ඡා දෙසද අවඥාවෙන් බලන ලද මුත්, නැවත වාරයක් ඔහු සම්මුතිකාමී දේශපාලනයක ආදර්ශයක් අරඹා ඇතැ'යි වර්ණනාවට ලක් කරන ලදී. ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා ජනතා විමුක්ති පෙරමුණටද සාකච්ඡා සඳහා එක්වන ලෙස ව්‍යාජ ආරාධනාවක් කළේය. ඒ හාස්‍යජනක සාකච්ඡා වටයෙන්ද නැවත තහවුරු වූයේ තමාගේ බලෝන්මාදයෙන් යුත් න්‍යාය පත්‍රයම ක්‍රියාත්මක කරන්නට මාර්ග සොයනවා හැරෙන්නට කිසිම සම්මුතිකාමී දේශපාලන වැඩපිළිවෙළකට මහින්ද රාජපක්ෂ මහතා සූදානමක් නැති බවය. අවසානයේ සිදුවූයේ, එක්සත්ජ ජාතික පක්ෂය සමග විහිළු කතා කියද්දී, ව්‍යාජ සම්මුතිකාමයක් පෙන්නුම් කරද්දී, තමා විසින් රහසේ කොටුම්පත් කරමින් තිබූ අතිශය භයානක ඒකාධිපති ව්‍යවස්ථා සංශෝධනයක් හදිසි පනත් කෙටුම්පතක් ලෙස ඉදිරියට ගැනීමය.
ලංකාවටම ආවේණික මේ හදිසි පනත් කෙටුම්පත් ක්‍රමය, ජනාධිපති ඡේ.ආර්. ජයවර්ධන විසින් මහජනතාව අතර ප්‍රමාණවත් අවධානයකට ලක්නොකොට සිය මර්දනීය අණපනත් පස්සාදොරෙන් සම්මත කර ගැනීම සඳහා නිර්මාණය කළා වූ උපක්‍රමයකි. හදිසි පනත් කෙටුම්පතක් නීතිගත වන්නේ සාමාන්‍ය පනත් කෙටුම්පතක් ආකාරයෙන් නොවේ. සාමාන්‍ය පනත් කෙටුම්පතක්, පළමුව ගැසට් පත්‍රයේ පළකිරිම සිදු වෙයි. එවිට රටේ මහජනතාවට ගැසට් පත්‍රය කියවීමෙන් කරන්නට යන වෙනස්කම් ගැන අවබෝධයක් ලැබෙන අතර ඊට එරෙහිවන්නෝ වෙත් නම්, ඔවුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් එම පනත් කෙටුම්පතේ නීත්‍යානුකූලභාවය ප්‍රශ්න කිරීම අවස්ථාවක් හා කාලයක් ලැබේ. එහෙත් හදිසි පනත් කෙටුම්පතක් ගැසට් කැරෙන්නේ නැත. එය ජනාධිපතිවරයා විසින් ඍජුවම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යැවෙන අතර, සාමාන්‍යයෙන් පැය විසිහතරක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහි නීතිමය තත්ත්වය සලකා බලා, ඒ ගැන ජනාධිපතිවරයාට හා කතානායකවරයාට පමණක් දැනුම් දෙනු ලැබෙයි. මෙවැනි හදිසියක් නිර්මාණය කොට තිබෙන්නේ ඇත්ත වශයෙන්ම මහජන අවධානයට ලක් නොකොට තමන්ට අවශ්‍ය නීති රහසේම සම්මත කර ගැනීමට ආණ්ඩුවකට ඉඩක් ලබා ගනු පිණිසය.
18 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ද මේ නරක විධිවිධාන උපයෝගී කරගනිමින් අතිශය රහසේ ඉදිරියට ගන්නා ලද්දකි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනෙනු ලබන වැදගත් වෙනස්කම් ප්‍රමාණවත් සාකච්ඡාවකට විවෘත කරන්නේ නැතිව මෙලෙස රහසේ සම්මත කරන්නේ ඇයිදැ'යි යන ප්‍රශ්නයට ඇමතිවරුන්ගේ විහිළු කතා මිස ආණ්ඩුවේ කිසිම වැදගත් පිළිතුරක් නැත. පසුගිය 30 වැනි අඟහරුවාදා විශේෂ ඇමති මණ්ඩල රැස්වීමක් කැඳවා ඉදිරිපත් කරන තෙක් ආණ්ඩුවේ වැදගත් ඇමතිවරුන් පවා මේ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැන දැන සිටියේ නැත. මෙය හදිසි පනත් කෙටුම්පතක් ලෙස සම්මත කළ යුතුයැ'යි එදින ඇමති මණ්ඩලය විසින් තීරණය කිරීමෙන් පසුව ඒ ගැන නීතිමය තත්ත්වය සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යවන ලදී. එදින රාත්‍රියේ කෙටුම්පත ගැන තොරතුරු ලැබි ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය යන දේශපාලන පක්ෂ හා නීතිඥ ලාල් විඡේනායක, ආචාර්ය රොහාන් එදිරිසිංහ හා ලියුම්කරු ඇතුළු පිරිසක් ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න, ක්‍ර්‍රිශාන්ත වැලිඅමුණ, සාලිය පීරිස්, ක්‍රීෂ්ණමාල් විඡේසුරිය හා විරාන් කොරෙයා යන සිය නීතිඥවරුන්ගේ සහ ඔවුන්ගේ කනිෂ්ඨ නීතිඥවරුන්ගේ දැඩිතර මහන්සියට පින්සිද්දවන්නට පසුදා උදෑසන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් පනත් කෙටුම්පත තුනෙන් දෙකකින් පමණක් නොව ජනමත විචාරණයකින්ද සම්මත කරගන්නා ලෙස නියම කරන හැටියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ. පසුව ග්‍රවුන්ඩ් වීව්ස් වෙබ් අඩවිය ඇමතූ රොහාන් එදිරිසිංහ මහතා කියා සිටියේ, එම ශ්‍රේෂ්ඨාධිකරණ විභාගයේදී නීතිපතිවරයා රජය වෙනුවෙන් කරුණු දක්වන්නට පටන්ගත් පසු, ඒ වන විට තමන්ට ලැබි තිබුණේ සංශෝධනයේ අවසාන කෙටුම්පතක්වත් නොවන බව අවබෝධවන්නට පටන් ගත් බවයි. එසේම විභාගය අතරතුරදී නීතිපතිවරයාගෙන් අවසාන කෙටුම්පතක් තමන් වෙත ලබාදෙන ලෙස ඉල්ලා සිටින්නටද සිදුවූ බවයි. ආණ්ඩුක්‍රම වෙනස්කම් ගැන තමන් සමග සාකච්ඡා කළ එක්සත් ජාතික පක්ෂයට පවා ආණ්ඩුවෙන් මේ කෙටුම්පත ලැබෙන්නේ ඉරිදා සවස ය. එයද අසම්පූර්ණ අතිශය සංක්ෂිප්ත කෙටුම්පතකි. මේ ක්‍රියාවලියෙන් මනාව පැහැදිලි වන්නේ රටටම වැදගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස්කමක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් සම්මත කරගන්නට සූදානම් වන නින්දිත කපටි ආකාරයයි.
18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ අතිශය භයානක එකක් බව අප කියන්නේ එමගින් මේ රට පූර්ණ ඒකාධිපතියකුගේ පාලනයට යටත් කරන බව පැහැදිලි වන නිසාය. රටේ සංවර්ධනයට එවැනි බලතල සහිත නායකයකු අවශ්‍ය බවටත්, මහින්ද රාජපක්ෂ මහතාගේ ජනතාවාදී චරිත ස්වබාවය විසින් මේ බලතල රටටත් ජනතාවටත් යහපතක්ම කරනු පිණිස යොදා ගනු ඇති බවටත් පළකැරෙන වාගාලාපයන් නිසැකවම බොරු වන බව නොබෝ කලෙකින්ම වැටහෙනවා ඇත.
ඡේ.ආර්. ජයවර්ධනගේ විධායක ජනාධිපතිධුරය නීතියට ඉහළින් සිටින කිසිම පාලනයකට හසුවන්නේ නැති, තමන් යටතේ තිබෙන රාජ්‍ය යාන්ත්‍රණයේ දැතිරෝද තමන්ට වුවමනා ආකාරයට කරකැවීම සඳහා අර්ධ ඒකාධිපතියකුට හිතුවක්කාර බලයක් දෙන භයානක එකකි. මේ අසීමිත බලය තුළ පුද්ගල හොඳ නරක විසින් කරන බලපෑමක් නැත. ඕනෑම යහපත් පුද්ගලයකු මේ බලය තුළ ආඥාදායකයකු බවට පත් වන්නේය. එය වැළැක්වීමට සමත් කිසිම යාන්ත්‍රණයක් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ නැත. පාර්ලිමේන්තුවේ දෝෂාභියෝග යෝජනාවක් මගින් ජනාධිපතිවරයාට අභියෝගයක් එල්ල කළ හැකියැ'යි සඳහන් වුවත් එය කිසිම ප්‍රායෝගික බලයක් නැති අංගවිකල ක්‍රියාමාර්ගයකි. එවැනි තත්ත්වයක් යටතේ ජනාධිපතිවරයකුගේ හිතුවක්කාර පාලනයක් දිගු කලක් පැවතීම කිසියම් ආකාරයකින් හෝ නවතාගැනීමට තිබුණු එක් තිරිංගයක් වූයේ එක් පුද්ගලයකුට දෙවරකට වඩා එම ධුරය දන්නට බැරි බවට වු කොන්දේසියයි. දැන් රාජපක්ෂ ආණ්ඩුව ඉවත් කිරිමට යන්නේද ඉතිරිව තිබූ එම එකම තිරිංගයයි. එපමණක් නොවේ, වඩාත් භයානක වන්නේ, ඒ සෑම ධුර කාලයක් තුළදීම, අවුරුදු හතරක් ඉක්ම ගිය පසු, තමන් කැමති වේලාවක ජනාධිපති වරණයක් කැඳවා තවත් අවුරුදු හයක් සඳහා තේරී පත් වීමට සංශෝධනය මගින් ජනාධිපතිවරයාට බලය ලබාදීමයි. එමගින් අවුරුදු හතරක් ගිය තැන, තමාට ඉතාමත් වාසිදායක අවස්ථාවක, විපක්ෂය දුර්වල වූ දුර්වල කරන ලද අවස්ථාවක, සමහර විට ජනතාවට ව්‍යාජ සහනයන් ලබා දී හෝ ව්‍යාජ බියක් මවා පා ඡන්දය ලබාගෙන ජනාධිපතිධුරයට පත්වීමට හැකි නින්දිත දේශපාලන සූදුකාරයකු බවට ජනාධිපතිවරයා පත්කැරෙයි. ලෝකයේ කිසිම ශිෂ්ට රටක එක් පුද්ගලයකුට අසීමිත ලෙස රාජ්‍ය නායකකම දරන්නට අවස්ථාව ලබාදෙන්නේ නැත. එසේ කර ඇත්තේ ඒකපුද්ගල ආධිපත්‍යයකට රටක් දිගින් දිගටම යටත්වීම වළක්වා ලනු සඳහාත්, එමගින් අත්තනෝමතික පාලනයක් බිහිවීම වළක්වනු සඳහාත් ය.
විශේෂයෙන් ලෝකයේ ශිෂ්ට සම්පන්න රටක නොමැති අන්දමේ අශිෂ්ට සම්පන්න විධායක ජනාධිපතිධුරයක් තිබෙන ලංකාවේ ඒ ජනාධිපතිධුරයේ වාර ගණන අසීමිත කිරීම වූ කලි, ඒ රටේ මිනිසුන්ගේ නිදහස එක් පුද්ගලයකුගේ ඕනෑ එපාකම් සඳහා භයංකර ලෙස පාවාදීමකි. මහින්ද රාජපක්ෂ මහතාත්, ඔහුගේ ආණ්ඩුවත් ලංකාව ගෙනයමින් සිටින්නේ එවැනි අශිෂ්ට සම්පන්න අවකාශයකටය.
විධායක ජනාධිපති වරයාට මුළුමහත් රාජ්‍ය යාන්ත්‍රණයම රිසි සේ හැසිරවිය හැකි තත්ත්වයක් තුළ සෑම ජනාධිපතිවරණයකටම එවකට ධුරයේ සිටින්නා තරග වදින්නේ ආරම්භයේ සිට නොව ගව් ගණනක් ඉදිරියෙන් සිටිමිනි. ජනාධිපතිවරණයක් පැවැත්වෙන විට, කැබිනට් මණ්ඩලය ඇතුළු මුළු ආණ්ඩුවේම බලය තිබෙන්නේ ඔහු අතේය. එවැනි පසුබිමක විපක්ෂ අපේක්ෂයකුට ජනාධිපතිවරණයක් ජයගත හැක්කේ ආශ්චර්යකින් පමණි. ඒ අනුව බලයේ සිටින්නාට හිතුමතේ තමන් කැමති වාරයක් පත්වීමටද, තමාගෙන් පසු තමා කැමති අනුප්‍රාප්තිකයකුට අවස්ථාව ලබාදීමටද හැකිවන්නේය. එලෙස දිගින් දිගටම ජනාධිපතිධුරයට පත්වන්නා ගැලවුම්කාරයකු වෙනුවට විනාශ කරන්නකු වුවහොත් ඇති විය හැකි අවදානම දැන් කිසිවකු තක්සේරු කරන බවක් පෙනෙන්නට නැති නමුත්, අනාගතයේදී පෙනෙන්නට පටන්ගන්නවා ඇත්තේය.
මේ භයානක තත්ත්වය වසංකර සීනි තැවරීමට මේ සංශෝධනයේදී පාවිච්චි කර ඇත්තේ ජනාධිපතිවරයා 'අනිවාර්යයෙන්ම' මාස තුනකට එක් දවසක් පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දී පාර්ලිමේන්තුවට වගකිව යුතු බවට වන විහිළුකාර ප්‍රතිපාදනයකි. රටේ අර්ධ ඒකාධිපති නායකයාද, පාර්ලිමේන්තුව තමන්ට රිසි ආකාරයෙන් හැසිරවිය හැකි විසුරුවාහැරිය හැකි බලය තිබෙන පුද්ගලයාද වන ජනාධිපතිවරයා මාස තුනකට එක් දිනක් බැගින් අවුරුද්දට දින හතරක් පමණක් පාර්ලිමේන්තුවට පැමිණ කැමරා එළි මැද සතුටු සාමිචියේ යෙදී එහි දිවා ආහාරය වළඳා ගිය පමණින් ඇතිවන 'පාර්ලිමේන්තුවට වගකීමේ' තත්ත්වය කුමක්දැ'යි පැහැදිලි කළ හැක්කේ ස්වාමියාගේ හඬම පුනරුච්චාරණය කරන සුසිල් ප්‍රේම්ජයන්ත, නිමල් සිරිපාල වැනි දේශපාලනඥයන්ටම පමණි.
මේ සංශෝධනයේ තවත් භයානක අංගයක් වන්නේ 17 වැනි සංශෝධනයට අත්කරදී තිබෙන කනගාටුදායක ඉරණමයි. 17 වැනි සංශෝධනය එහි කවර අඩුපාඩුකම් තිබියේ වුවද, මේ රටේ රාජ්‍ය සේවය නිර්දේශ පාලනීකරණය කිරීමට වැදගත් පියවරක් තැබූ සංශෝධනයකි. එහි අඩුපාඩුකම් තිබුණේ නම් කළ යුතුව ඇත්තේ ඊට වඩා හොඳ එකක් ගෙන ඒමය. එහෙත් මේ සංශෝධනයෙන් කර ඇත්තේ රාජ්‍ය සේවය නිර්දේශපාලනීකරණය වෙනුවට මුළුමනින්ම ජනාධිපතිවරයාගේත් ඔහුගේ ඇමති මණ්ඩලයේත් දේශපාලන බලපෑමට යටත් කිරීමය. 17 වැනි සංශෝධනය යටතේ අධිකරණය ඇතුළු රටේ වැදගත් ස්වාධීන තනතුරුවලට පුද්ගලයන් පත්කිරීම කැරුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නම් සාමාජිකයන් දහ දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන මණ්ඩලයක සහභාගීත්වයෙනි. සමහර පත්වීම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නාම යෝජනා අනුව ජනාධිපතිවරයා විසින් කළ අතර, අනෙක් පත්කිරීම් ජනාධිපතිවරයාගේ නාම නිර්දේශයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ලෙස අගමැති, කතානායක, විපක්ෂ නායක නිල බලයෙන් සිටි නමුත්, ඉතිරි හත්දෙනා ස්වාධීන, ගරු කටයුතු පුද්ගලයන් අතුරෙන් පත්කරගන්නට විධිවිධාන තිබිණි. එහෙත්, සිය පාලන කාලයේදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ බලලෝභීත්වය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙන්ම අනෙකුත් ස්වාධීන කොමිෂන් සභාද හිතාමතාම බලරහිත කරන ලදී. දැන් මේ සංශෝධනයෙන් යෝජනා කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට පස්දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු සභාවක් පත්කරන්නටය. එයට අගමැති, විපක්ෂ නායක, කතානායක, අගමැති හා විපක්ෂ නායක විසින් පත්කැරෙන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු යන පස්දෙනෙක් අයත් වෙති. බැලූ බැල්මටම මේ සංයුතියේ වැඩි බලය (3ක්) ඇත්තේ ආණ්ඩුවටය. ඉතින් මේ සභාව ස්වාධීන වන්නේ කෙසේද? විපක්ෂය නායකයාටත්, ඔහු පත්කරන අනෙක් මන්ත්‍රීවරයාටත් කළ හැක්කේ කුමක්ද? එපමණක් නොවේ. අගවිනිසුරු, ඉහළ අධිකරණ විනිසුරුවරු, ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් පත්කිරීමේ බලය සම්පූර්ණයෙන්ම ඇත්තේ ජනාධිපතිවරයාටය. ඔහුට 'අවශ්‍ය නම් පමණක්' ඉහත කී පාර්ලිමේන්තු මණ්ඩලයෙන් විමසිය හැකිය. ඉතින් එවැනි මණ්ඩලයක් පවතින්නේ කුමකටද?
මේ ආකාරයට 18 වැනි සංශෝධනය විසින් යෝජනා කරන වෙනස්කම්වලින් ඇත්ත වශයෙන්ම රටේ යහපතට හේතුවන්නේයැ'යි කිව හැකි එකුදු විධිවිධානයක් හෝ හමු නොවේ. එහි සාරාර්ථය වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හැකි තාක් කාලයක් ජනාධිපතිධුරයේ තබාගැනීමත්, ඔහුගේ දෑත් ඒකාධිපති බලයෙන් ශක්තිමත් කිරීමත්, ඔහුට සහ ඔහුගේ සමීපතමයන්ට අවශ්‍ය පරිදි රට පාලනය කිරීමත්, ඔහුගෙන් පසු ඔහු කැමති අනුප්‍රාප්තිකයකුට රට භාරදීමත් අරමුණු කරගෙන ගෙන එන ලද රටේ පොදු වුවමනාවන්ට සපුරා පටහැනි මුළුමනින්ම රාජපක්ෂ පවුලේ අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස සකස් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් බවට එය පත් වනු ඇති බවයි.
මෙවැනි අසීමාන්තික අත්තනෝමතික බල ව්‍යුහයක් තුළ විරුද්ධ මතයන්ට ඉඩක් ඇත්තේ නැත. එනයින්, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන ආදියට රටේ විරුද්ධ මතයක් දැරීමට තිබෙන ඉඩකඩ අසුරා දැමෙනු ඇත. උද්ඝෝෂණ, විරෝධතා, පාගමන් ආඥාදායක විධායක බලයෙන් පොඩිපට්ටම් කැරෙනවා ඇත. දිගින් දිගටම එකම පාලකයකු යටතේ ඔහුට කීකරුව ඔහුගේ වුවමනා එපාකම් පිරිමසමින් නිවටව සිටිනවාද, නැත්නම් විරුද්ධ වී විනාශ වනවාද යන දෙකෙන් එකක් පමණක් තෝරා ගැනීමට කාහටත් සිදුවනු ඇත. විරෝධයක් පළකරන්නට, දුකක් කියන්නට, යුක්තියක් ඉල්ලන්නට තැනක් නැතිව යනවා ඇත. ව්‍යවස්ථාදායකය හා අධිකරණයද පවතිනු ඇත්තේ පූර්ණ ඒකාධිපතියකුගේ බල පරාක්‍රමයට යටත්ව ය. මේවාට වඩා වෙනස් 'යහපත් දේවල්' මේ අසීමිත බල අධිකාරය තුළ බලාපොරොත්තු විය හැක්කේ දුරදිග නොසිතන්නනන්ට හා අවස්ථාවාදීන්ට පමණය.
මේ සංශෝධන කරළියට ගෙන ඒම හරහා නිරුවත් වන තවත් පිරිසක් සිටිති. ඒ අපේ ඇමති මණ්ඩලයයි. කියනා වචනවලට අනුව නම්, ඔවුන් අතර ආචාර්ය මහාචාර්යවරුද, බුද්ධිමත්හුද, රටේ බහුතරයක් විනිසුරන්ගේ ගුරුවරුද, මහා ලිබරල් ප්‍රාඥයෝද, මහා ප්‍රජාතන්ත්‍රවාදීහු ද අඩුවක් නැත. එහෙත් මේ කිසිවකු මේ භයානක ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව වචනයක්වත් කී බවක් අප දන්නේ නැත. විරුද්ධ වීමට කොන්දක් තිබූ එකම පිරිස ආණ්ඩුවේ වාමාංශික මන්ත්‍රීවරුන් පස්දෙනා පමණෙකි. මේ ව්‍යවස්ථා සංශෝධනය නීතිගත වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, මිනිස් අයිතිවාසිකම් විෂයයෙන් අප වැටෙන්නට නියමිත අඳුරු අගාධය ගැන තක්සේරු කරගන්නට තරම් දැනුම් වපසරියක් හෝ වුවමනාවක් තමන්ට නැතියේ වුවද, අඩු ගණනේ තමන් විෂයෙහිවත් සිදුවිය හැකි ආපදාවන් සලකා බලා මේ සංශෝධනයට විරුද්ධ වීමට අයිතියක් ඔවුනට තිබුණි. තවමත් තිබේ. මේ සංශෝධන මත අනාගතයේ මේ රටේ පවතිනු ඇත්තේ රාජපක්ෂ රාජපරම්පරාවක් පමණෙකි. මෙතෙක් කල් අප්‍රසිද්ධියේ තිබුණු ඒ මතයට දැන් නීතිමය බලයක්ද ලැබෙන්නේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අඩුගණනේ තවත් දශක දෙකක්වත් රාජ්‍යය විචාරා නික්ම යනු ඇත්තේ ඔහුගේ පවුලේ අනුප්‍රාප්තිකයකුට ඉඩ සලසා දී මිස අවශේෂ මැති ඇමතිවරුන්ගේ සමීප තමයන්ට මඟ පාදා නොවේ. එනයින් අනාගතයේ සැලකිය යුතු යුගයක් වෙන්කළ යුතු වන්නේ රාජපක්ෂ පවුල් පාලනයටය. මේ මැතිඇමතිවරුන්ට පමණක් නොව ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන්ටද සිදු වන්නේ අද මෙන්ම ඉහළින් දෙන දෙයක් ගෙන ඡායාරූපවලට සතුටු පෙනුමකින් යුක්තව මුහුණ දී දිවි ගෙවීමටය. එවැනි ඒකාධිපති පාලනයක් තුළ පුද්ගල දක්ෂකම්, කුසලතාවන්, බුද්ධිය හා දාර්ශනික ඉදිරි දැක්මක් වෙනුවෙන් ඉඩක් නැත. ඇත්තේ, පාවාදීම්, යටහත්වීම්, පානැමදීම්වලට වරදාන පමණකි. ඉතින්, රටටත්, ප්‍රජාතන්ත්‍රවාදයටත්, මූලික මිනිස් අයිතිවාසිකම්වලටත් යහපතක් වන ආණ්ඩුක්‍රම වෙනසක් වෙනුවෙන් වෙහෙස වනු පිණිස කශේරුකාව කෙළින් තබාගන්නවාද, නැත්නම් 18 වැනි සංශෝධනයට අත උස්සා රටේත්. ප්‍රජාතන්ත්‍රවාදයේත්, යහ පාලනයේත්, අවසානයට දායක වනවාද යන කඩඉම් ප්‍රශ්නයට මුහුණ දීමට ඔවුන්ට ඇත්තේ තවත් ඉතා කෙටි කලෙකි. අඩු ගණනේ ජනාධිපතිවරයාට සමීප වී, මේ කරන්නට යන මහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය විනාශයෙහි ආදීනව ගැන ඔහුට පැහැදිලි කරදී රට අත්තනෝමතිකභාවයේ හස්තයෙන් ගලවාගැනීමට හැකියාවක් හා වුවමනාවක් ඔවුන්ට ලැබේවා'යි අපි ප්‍රාර්ථනා කරමු. මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ නායකයා ලෙස තවදුරටත් තබාගැනීමට ඔවුන්ට තිබෙන වුවමනාව තේරුම් ගැනීම අපට අපහසු නැත. එහෙත්, දැනටමත් අනුත්තර නායකත්වයේ ඉන්නා ඔහුට මේ තරම් අවදානම් බලතල රාශියක් තවදුරටත් එකතුකර දිය යුත්තේ ඇයි ද යන්න නැවතත් බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත යුතුය.
අනෙක් අතට බිම් මට්ටමේ ශ්‍රීලනිප පාක්ෂිකයන්ටද මේ උදාවී ඇති මොහොතෙන් ගැලවී යා නොහැකිය. ඡේ.ආර් ජයවර්ධනගේ කෛරාටික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යටතේ අවුරුදු 17ක් තුළ ඔවුන් විඳි පීඩනය ඔවුනට මතක තිබෙනවා ඇත. පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි බලය යොදා ගනිමින් හිතූ හිතූ සංශෝධන ගෙනඑමින් තමන් අතට සියලු බලතල කේන්ද්‍රගත කරගනිමින් ඡේ.ආර්. එදා කළ දේ නිසා පකයක් ලෙස යළි බලය ලබාගන්නට දරන්නට වූ මහන්සිය ඔවුන්ට මතක තිබෙනවා ඇත. 1994 දී ඒ අඳුරු යුගය අවසන් කිරීමට ඔවුනට හැකිවූයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කැපවූ බොහෝ පිිරිස් එදා ඔවුන් සමග අත්වැල් බැඳගත් ද නිසාවෙන් මිස තනි පක්ෂයක් ලෙස කටයුතු කිරීමෙන් නොවේ. දැන් මේ 18 වැනි සංශෝධනය නීතිගත වුවහොත් දිගුකාලීන රාජපක්ෂ පාලනයක් ගැන බලාපොරොත්තු තබාගත හැකි බව ඇත්තකි. එහෙත් ඒ පාලනය ගිලිහී යන්නේ කොයි මොහොතකද යන්න ගැන ගණන් හැදීමද අසීරුය. බලය සදාකාලික නැත. කවදා හෝ මේ අසීමිත බලය සහිත වෙනත් පක්ෂයක් බලයට පත්වුවහොත්, මේ සංශෝධනවලින් ලැබෙන බලය පාවිච්චි කැරෙන ඒ අසීමිත හිතුවක්කාර අනාගත රාජ්‍ය පාලන කාලය තුළදී තමන්ට හා තමන්ගෙන් පැවතෙන්නට විඳින්නට විය හැකි ගැහැට ගැනවත් ඔවුන් කල්පනා කළ යුතුය. එනයින් තමන්ගේ දේශපාලන නියෝජිතයන්ට මේ ප්‍රතිසංස්කරණවල භයානක කම ගැන බලපෑම් කළ යුතුය. මේවාට විරුද්ධ වීමේ අවශ්‍යතාව අවධාරණය කළ යුතුය.
අනෙක් අතට 18 වැනි සංශෝධනය විසින් ඇති කරන අසීමිත රාජ්‍ය බලය, ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් වෙනත් කෙනකු හෝ පක්ෂයක් වෙත පාලනය මාරුවීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම වසාදමනු ඇත්තේය. ඉදිරි හැම මැතිවරණයකදීම, ජනාධිපති වරණයකදීම එක් පක්ෂයක් හෝ සභාගයක්, එක් පුද්ගලයකු පමණක් දිගින් දිගටම තේරී පත්වීම පමණක් සිදුවනු ඇත්තේය. ඉන් සිදුවන අනෙක් හානිය නම්, රටේ ප්‍රජාතන්ත්‍රවාදී බල වෙනසක් ගැන ඇති විශ්වාසය නායයෑමයි. තමන්ට බලය ගැනීමට, අයිතිවාසිකම් දිනාගැනීමට ඇති සාධාරණ අවස්ථාවන් ගිලිහී ගිල කල්හි ඇතිවන නියත ප්‍රතිඵලය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන උපක්‍රමවලින් බලය ලබාගැනීමට පුද්ගලයන් හෝ සංවිධාන ඇදීයෑමේ සාධාරණ ඉඩකඩක් ඇතිවීමයි. අපේ නායකයන්ගේ බලෝන් මත්තක ක්‍රියා හේතුකොට ගෙන නිර්මාණය වු අතිශය විනාශකාරී කැරලි තුනක සාක්ෂිකරුවන් වන අපට ඒවාටත් වඩා සිය ගුණයකින් විනාශකාරී කැරැල්ලක් මේ රට තුළ නැවත වාරයක් ඇති කර ගැනීමට වුවමනාව තිබෙන්නේද? එසේ නැත්නම් විධායක ජනාධිපතිධුරය නම් ඒකාධිපති පිළිලය මුලිනුපුටා දමා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික මූලධර්මයන්ට අනුගත වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසකට යන්නට අප සූදානම්ද?
එළැඹෙමින් තිබෙන්නේ ඒ අතිශය තීරණාත්මක තීරණය ගත යුතු මොහොතයි. අවාසනාවකට, මේ තරම් බියකරු අවස්ථාවක් එළැඹ තිබෙද්දීත් ඒ ගැන නිසි සාකච්ඡාවක්, විවාදයක්, සංවාදයක් කරන්නට එළැඹෙන බහුතරයක් නැත. මැතිවරණ කාලයේ දිවා රෑ නැතිව වාචාල දේශපාලකයන්ගේ තුට්ටු දෙකේ වාගාලාපයන්ට සිය ගුවන් කාලය නොමසුරුව වැය කළ එකුදු විද්‍යුත් මාධ්‍යයක්වත් මේ බැරෑරුම් ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්නට පැය කාලක් වෙන් කරන බවක් පෙනෙන්නේ නැත. ආණ්ඩුවේත්, ආණ්ඩුවේ නොවනත් පුවත්පත් ආණ්ඩුවේ අදහස්ම පිටු ගණන් පුනරුච්චාරණය කරනවා මිස වෙනස් මතයකට ඉඩක් දෙන්නේ නැත. තමන් විරුද්ධ වන්නේත් නැත. සියල්ලෝම ස්වෙච්ඡාවෙන් නිහඬව සිටිමින් ලංකාව (මාතෘභූමිය!) අනාගත අඳුරකට ඇදගෙන යෑම සඳහා හැකි පමණින් දායක වෙමින් සිටිති. මේ දේවල් ගැන හැමදාමත් කැක්කුමක් තිබුණු පිරිස් පමණක් තැනින් තැන අවදියෙන් සිටිති.
මහත්වරුනි, අපි ඒ ගැන නොසලකන්නෝ වෙමු නම්, මේ අවදානම ගැන යථාර්ථවාදී තක්සේරුවක් කොට 18 වැනි සංශෝධනයට හැකි වෙර යොදා එරෙහි නොවන්නෙමු නම්, ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශයෙන් බැටකන මේ රටේ අනාගත පුරවැසියන්, රටේ නායකයන් ලෙසට පමණක් නොව, පුරවැසියන් හැටියටද අද සිටින අපේ මුහුණුවලට කෙළ ගසා අවමන් කරනු ලැබීමෙන් වළකාලන්නට හැකි වන්නේ නැත.
[රාවය- 2010.09.05]
0 ඔබේ අදහස්:
Post a Comment