Friday, April 30, 2010

මහාවංසයට හිමි විය යුතු තැන සහ එයට දී තිබෙන තැන

(මේ ලිපිය ලිවීමට හේතු වුනේ කලින් මා ලුයූ 'බ්‍රිතාන්‍යයන් අපව භේද කිරීමේ කතාව' නම් ලිපියට NoTerrorism සහොදරයා/සහොදරී මතු කළ ප්‍රශ්නයකි).

මහාවංසය ලිව්වෙ 5 සියවසේ විතර අනුරාධපුර මහාවිහාරයෙ ජීවත් වුනු මහානාම නම් හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ ඈතම අතීතේ ඉඳල මහසෙන් රජුගේ අවසානය (303 AD) දක්වා කාලය තම කෘතියෙන් ආවරණය කරනවා. ඉන්පස්සෙ කොටස් ලියැවුනු කාල ගැන මතභේද තියෙනවා. සමහර දෙනෙක්ගෙ අදහස 12 සියවසෙ ජීවත් වුනු ධර්මකීර්ති කියන හාමුදුරුවො දෙවෙනි කොටස ලිව්වා කියල. ඔහොම නුවර කාලය වෙනකම්ම කොටස් වසයෙන් මෙය ලියැවෙනව. සමහර දෙනෙක් ගෙ අදහස මහානාම හිමි ලියූ මුල් කොටස මහාවංසය ලෙස හැදින්වුනු බවත් ඉතිරි කොටස් චූලවංසය ලෙස හැදින්වුනු බවත්.

ඒ කොහොම වුනත්
1.මේ සියලුම කොටස්වල කතුවරු හාමුදුරුවරු.
2. ඒ සියලුම දෙනා මහාවිහාර වංසයේ (ථේරවාදී ගුරුකුලයේ) හාමුදුරුවරු.

මේ අය ඉතා වෙහෙස ගෙන කියාහිටින කතාවක් තියෙනවා. ඒ තමයි තමන් නියෝජනය කරන ගුරුකුලයේ තමයි පිරිසිදුම බුදුදහම ආරක්ෂාවී අත්තේ යන්න. ඒ සඳහා බුදුහාමුදුරුවන්ගේ සිට මිහිඳු හාමුදුරුවො ලංකාවට පැමිනීම දක්වා වූ බුදු දහමේ කතාවත් එතැන් සිට ලංකාව තුළ එය වර්ධනය වූ අකාරයත් උන්වහන්සේලා අඛණ්ඩව විස්තර කරනවා. ඒ හැර සාමාන්‍ය ජන ජීවිතය ගැන හෝ ලංකාවේ වාසය කළ සාමාන්‍ය ජනයා ගැන හෝ කිසිවක් මහා වංසයේ එන්නේ නෑ. හේතුව ඒවා ගැන කතා කිරීම මේ කතුවරුන්ගේ අරමුණ නෙවෙයි. රජුන් ගැනද ආක්‍රමණ ගැනද ඒ අය කතාකරනවා. ඒ අනුරාධපුරය මුල්කරගෙන පැවති මහාවිහාරයට මෙකී කාරණා දෙක අතිශයින්ම තීරනාත්මක ලෙස වැදගත් නිසා. මුල් යුගයේ දකුණු ඉන්දීයවෙ ජනයාත් ලංකාවෙ ජනයාත් යන දෙපිරිසම බෞද්ධයි. ලංකාවේ මුල්කාලයෙ දක්නට ලැබෙන ආකාරයෙ භිෂූන් වෙනුවෙන් තනා පූජාකළ ළෙන් හා ලෙන් ලිපි ඒ ආකාරයෙන්ම දකුණු ඉන්දියාවෙනුත් හමුවෙනවා. වළගම්බා රාජ්‍ය කාලයෙ ලංකාව ආක්‍රමණය කළ දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ගෙන් එක් අයෙක් බුදුන්ගෙ පාත්‍රය ලැබුනාම "මට මේ ඇති" කියා ඒකත් අරං ආපහු ගියා කියල මහාවංසෙම කියනවා. බුදුන්ගෙ පාත්‍රය වැදගත් බෞද්ධයෙකුට විතරයි. ඒ කියන්නෙ දකුණු ඉන්දීය දෙමළ ජනයාත් ලාංකිකයිනුත් යන සියලු දෙනා බෞද්ධයි. ඒ කාලයෙ සිංහල හා දෙමළ භික්ෂූන් කිසි වෙනසක් නැතිව කටයුතු කරන්න ඇති. එය විශේෂයෙන් වාර්තා කරන්න තරම් දෙයක් නොවුණු නිසා මහාවංසයේ ඒ ගැන විශේෂ වාර්තා නෑ. නමුත් පෙර දැක් වූ ආක්‍රමණයෙන් පස්සේ අවුරුදු 14ක් මෙහෙ සාගතයක් තිබුණාලු. ත්‍රිපිඨකය කටපාඩමින් ගෙන ආ භික්ෂූන් මිය යන්න ගත්තලු. මේ වෙලාවෙ යම් උගත් භික්ෂූන් පිරිසක් ජීවිතය ‍රැකගන්න පැනයන්නේ සොළී දේශයට. මෙයින් හොදටම පැහැදිලියි ඔවුන්ට උදව් කරන්න නවාතැන් දෙන්න එහෙ පිරිස් හිටියා. ඔවුන්ට සම්බන්ධ ආයතන එහි තිබුණා. ඒ එහෙත් මෙහෙත් එවක පැවතුනේ පොදු ආගමික තත්වයක් නිසා.

නමුත් මහාවංසෙ ලියන කාලේ එනම් 5 සියවස වෙනකොට දකුණු ඉන්දියාවෙ තත්වේ වෙනස්වෙලා. නාගර්ජුන, ආර්යදේව, අසංග, වසුබන්දු වැනි මහායාන දාර්ශනිකයන්ගෙ බලපෑමට දකුණු ඉන්දියාවෙ බුදු දහම නතුවෙලා තිබුණා. මේ මහායාන අදහස් ලංකාවටත් එන්න ගත්ත. අනුරාධපුරයේම වූ අබයගිරි භික්ෂූන් මේ නව අදහස් බාරගත්ත. මහාවිහාරීය භික්ෂූන් මේක සැලකුවේ තම ආයතනයට හා ථේරවාදී බුදුදහමට එල්ල වූ මහා තර්ජනයක් ලෙසට. මේ ගැ‍ටුමේ ඵලයක් ලෙසයි මහායාන අදහස් දැරූ භික්ෂූන් 60 දෙනෙක් ව වෙර ළකුණු ඔබ්බවලා (හණගහලා... !) ලංකාවෙන් පි‍ටුවහල් කරන්නේ. සංඝමිත්‍ර කියන දකුණු ඉන්දීය භික්ෂුව ඇවිත් රජුගේ හිත් දිනාගෙන මහාවිහාරේ භික්ෂූන්ට දන් දීම තහනම් කරවන්නේ. මහාවිහාරය බිඳ දාලා ඒ ඉඩමේ උඳු වපුරවන්නේ. මේ ගැ‍ටුම අවසානේ සංඝමිත්‍ර භික්ෂුව ථේරවාදී පක්ෂය ගත් ගිහියෙකු අතින් මරුම් කනවා.

මේ සියල්ල දෙස බැලුවම පේනවා මහාවංසය ලියන්න හේතු වුනු පසුබිම කොයිවගේ ද කියලා.
මම මුල් ලිපියේ කිව්වා අබයගිරි වාසී භික්ෂූන් ලියූ වංසකතාත් තිබුනා නම් මීට වඩා තව විස්තර ලංකාවේ ඉතිහාසය ගැන දැනගන්න තිබුණා කියා. නමුත් අද එ කිසිවක් ඉතිරිව නෑ. ඒවාත් තිබුණා නම මහාවිහාර පර්ෂවය විසින් නොකී බොහෝ කතා අපට දැනගන්න තිබුණා. අබයගිරිය මහාවිහාරය මෙන් නොව මහායානික අදහස් වලට වැදගත් තැනක් දුන්න. 5 සියවසේ ලංකාවට ආව ෆා හියන් නම් චීන සංචාරකයාට අනුව ඔහු පැමිණි කාලයේ අබයගිරියේ 5000ක් භික්ෂූන වාසය කර තිබෙනවා. එහෙත් මහාවිහාරයේ ජීවත්ව ඇත්තේ භික්ෂූන් භික්ෂූන් 3000 පමණයි. අතිශයොක්ති බැහැර කරල ගත්තොත් අබයගිරිය වාදීන් (මහයානික අදහස් වලට නැඹුරු වූවන්) සංඛ්‍යාත්මකව වැඩියි. අද ඔබ අනුරාධපුරයට ගියොත් පෙනේවි අබයගිරිර්ය ආයතනයක් හැටියට කොතරම් දැවැන්ත ද කියා. 9-10 සියවස් වලට අයත් අත්තානි පරිහාර නමින් හඳුන්වන ටැම් ලිපි වලින් පෙනෙනවා අබයගිරියට අයත්ව තිබුණු ඉඩම් කොපමණ ද කියා. මේ අනුව ඔවුන් එක් ‍රැස්කළ දැනුම් ප්‍රමාණය සහ පොත්පත් ප්‍රමාණයද ඉතා විශාල විය හැකියි. ඔවුනුත් මහාවංසය මෙන් තම ආයතනයේ ද තමන් පිළිගත් බුදුදහමේ ද ඉතිහාස කතාව ලිව්වා නම් නිසැක ලෙසම දකුණු ඉන්දියාවේ කාන්චිපුරම් හි පල්ලවාරාමය වැනි ආයතන සමග එය පැවැත් වූ සබඳතාත් මෙහි වාසය කළ දෙමළ භික්ෂූන ගැනත් අපමන තොරතුරු අපට ලබාගන්නට ඉඩ තිබුනා. අවාසනාවට අබයගිරිවාසීන්ට අයත් එකම එක පොතයි අද ඉතිරිව ඇත්තේ. එය ඉතිහාස තොරතුරු සපයයන කෘතියක් නෙවෙයි.

තව රෝහනට්ඨකතා මහාවංසය නම් කෘතියක් ද රෝහණයේ සිටි භික්ෂූන් විසින් ලියා ඇති බවට තොරතුරු ලැබෙන බව පෙර ලිපියේ මා කීවා. එයත් අද දකින්නට නෑ. මේසියල්ල තිබුණා නම් අපට වඩා විශාල තොරතුරු ප්‍රමාණයක් එක් ‍රැස් කරගන්න තිබුණා. ඒත් ඒ තොරතුරු මතත් අපිට වඩා දියුණු ඉතිහාසයක් ලියන්න අමාරුවෙයි. හේතුව මේව ලිව්වේ භික්ෂූන්. ඔවුන්ගේ උවමනාවන් වෙනස්. සාමාන්‍ය ජන ජීවිත ගැන ලියන එක ඔවුන්ට උවමනා කළේ නෑ. ඒකට ඒ අයට දොස් කියලත් වැඩක් නෑ. ඒ අය ක්‍රියා කළේ එදාට වැදගත් ය කියල පෙණුනු දේවල් වෙනුවෙන් මිස අද අපට වැදගත්ය කියල පෙනෙන දෙවල් වෙනුවෙන් නෙවෙයි.

දැන් අපිට මහාවංසයේ දු‍ටු ගැමුණු කතාව දිහා වෙනස් විදියකට බලන්න පුලුවන් වෙයි. මම කිව්ව මහාවංසෙ ලියැවුනේ 5 සියවසේ පමණ ජීවත් වුණු මහානාම නම් හාමුදුරු කෙනෙක් අතින් කියා. ඒකියන්නේ දු‍ටුගමුණු ගේ කාලෙන් අවුරුදු 600 කට විතර පස්සේ.

5 සියවස වෙද්දී ලංකාවට දකුණු ඉන්දීය ආක්‍රමණයක් එල්ල වී ත්බුණා. මේ අතර මහානාම නම් හාමුදුරු කෙනෙක් ධාතුසේන නම් පුංචි කුමාරයෙක්ව ආක්‍රමණිකයගෙන් බේර ගෙන කලා ඔයෙන් එතෙරට අරගෙන ගිහින් මහණ කරල හංගගෙන හදාවඩා ගන්නවා. මේ මහනාම තෙරුන්ගෙ වුවමනාව ආක්‍රමණිකයාට එරෙහිව සටන් වැදීම සඳහා සුදුසු පුද්ගලයෙක් නිර්මාණය කිරීමයි. ඒ වෙනුවෙන් උන් වහන්සේ හැකි සෑම දේම කරනවා. මෙහි දී අපිට වැදගත් කාරණය තමයි මහාවංසය ලියූ තෙරුන්ගේ නමත් ධාතුසේන කුමරා හදාවඩා සටනට යැවීමට කටයුතු කළ භක්ෂුව ගේ නමත් "මහානාම" වීම. ඒ දෙදෙනාම ජීවත් වුනේ එකම කාලයේ එනම් 5 වැනි සියවසේ වීම. මේ ගැන කතා කරන පරනවිතාන මහතාත් සැක කරනවා මේ දෙදෙනෙක් නොව එක් අයෙකුම බව. මගේ අදහසත් එයමයි. මේ කටයුතු දෙකටම සම්බන්ධ වුනේ දෙදෙනෙක් නොවෙයි. එක් අයෙක්මයි.

මහාවංසයේ මුලු පරිච්ඡේද 37න් දු‍ටුගැමුණු කතාවට පරිච්ඡේද 20 ක් පමණ වෙන්කරන්නෙත් දසමහා යොදයින් ගැන කණ්ඩුල ඇතා ගැන මෙතරම් හිත්ගන්නසුළු කතා ඉදිරිපත් කරන්නේත් ධාතුසේනට අවශ්‍ය පිරිස්බලය සටන් ශක්තිය හදාදීමට බවයි මගේ අදහස. දු‍ටුගැමුණුගේ මුවට නගල කියන 'මාගේ වෑයම රජ සැප පිණිස නොව, බුදුදහමේ චිරස්ථිතිය සඳහාය'යන වාක්‍යය ඇත්තටම මහානාම තෙරුන් ධාතුසේන ලවා කියවන වාක්‍යයක් යනු මගේ අදසයි. ඇත්තටම මේ කාලය වනවිට (5 සියවස) වනවිට ආක්‍රමණිකයා ථේරවාදී බුදු දමට විරුද්ධ අදස් දරන්නෙක් වීමට ඇති ඉඩ වැඩියි. මක්නිසාද ද්කුණු ඉන්දියාවේ බුදුදහම මේවෙනකොට ගොඩාක් වෙනස් වී තිබූ නිසා. දු‍ටු ගැමුණු කතාවේ එන එක් වැදගත්කියමණක් දු‍ටු ගැමුණු රජු අතින් මියගියේ මිනිසුන් එක හමාරක් ය යන අදහස. එක යනු පංසිල් සමාදන් වූවෙකි. භාගය තෙරුවන් සරණ ගිය අයෙකි. මියගිය අන් සියළුදෙනා තිරිසන් සතුන් සමානය.

බුදුදහමේ කවර ඉගැන්වීමක් මත වත් පිහිටා මෙවැන්නක් පැවසිය නොහැකිය. අනෙක් අතට මහාවංසයට අනුව මේ වාක්‍යය පවසන්නේ සාමාන්‍ය භික්ෂූන් පිරිසක් නොව පුවඟු දිවයිනෙන් ආ රහතන්වහන්සේල පිරිසකි. ඇයි මහානාම හිමිට මෙවැනි බුදුදහමේ මූලික පදනම් ඉගැන්වීම්වලට ද පටහැනි යමක් කියන්නට සිදු වූයේ? මගේ අදහස මේ මගින් මහානාම හිමි පිළිතුරු දෙන්නේ තම ශිෂ්‍යයාටයි. කලක් පැවිදිව සිටි ධාතුසේන මිනිසුන් මැරීම පව් නැත්දැයි අසන ප්‍රශ්නයට දෙනෙ පිළිතුර මේ වාක්‍යය තුළ ඇති බැවිනි. දු‍ටුගැමුණු කතාව මහානාම තෙරුන් විසින් තමන්ගේ කිසියම් උවමනාවක් සාධනය කරගැනීම සඳහා කෘත්‍රිමව විශ්ටත්වයට නගා ඇතිබව (glorified) මම කියන්නේ නිකම්ම නොවේ. මහාවංසය ලියැවීමට සියවසකට පමණ පෙර ලියැවුණු දීපවංසයේ දු‍ටුගැමුණු සඳහා වෙන්කොට ඇත්තේ ගාථා කීපයක් පමණයි. මාගේ විශ්වාසයේ හැටියට දීපවංසකරුට දු‍ටුගැමුණුගේ වැදගත්කමට අඩුවක් කිරීමට කිසි හේතුවක් මට පෙනෙන්නේ නෑ.

මේ සමස්ත සාකච්ඡාව තුළ මා පෙන්වා දීමට උත්සාහ කරන්නේ මූලාශ්‍රයයක් භාවිතා කිරීමේදී එය ලියැවුනු වටපිටාව, එහිකතුවරයාගේ පුද්ගලික අභිලාශයන්, ඔහුට තිබුනු සීමාවන්, ඒ කාලයේ තිබුනු උවමනාවන් ආදී සියල්ල සැලකිල්ලට ගැනීමේ ඇති වැද්ගත් කමයි. එසේ කරන විට අදාල මූලාශ්‍රය ප්‍රමාණය ඉක්මවා වැදගත් තැනකට පත් නොවේ. නමුත් මාගේ අදහස මහාවංසය එබඳු ප්‍රමාණය ඉක්මවාගිය වැදගත් තැනකට පත්ව ඇති බවයි. ඒසේ ප්‍රමාණය ඉක්මවා ගිය වැදගත් තැනක එය තැබුවේ මෙරටට ආ ඉංග්‍රීසින්ය යනු මගේ අදහසයි.
එය සිදුවුනේ මෙහෙමයි. පෙරදිගට ආ ඉංග්‍රීසින් අතර ආකාර කිහිපයකට අප දෙස බැලූ ඉංග්‍රීසින් සිටියා. එක් කණඩායමක් වූයේ පෙරදිග සිටින්නේ ම්ලේච්ඡයන්ය, ඔවුන්ව ශිෂ්ට කිරීම ඉංග්‍රීසීන්ගේ කාර්යයි කියා සිතූ අය. තව පිරිසක් හිටියා පෙරදිග වැසියා පහසුවෙන් පාලනය කිරීමට නම් ඔවුන්ගේ ඉතිහාසය සංස්කෘතිය චාරිත්‍රක්‍රම නීති ආදිය දැනගත යුතුය කියා සිතූ අය. ඉංදියාවේ හා ලංකාවේ ඉතිහාසය ලියැවුනේ ඔවුන් අතින්. තුන්වැනි වැදගත් පිරිස වුනේ නැගෙනහිර රෝම අධිරාජ්‍යය බිඳ වැ‍ටුණු පසු කොන්ස්තන්තීනෝපලයෙ එතෙක් ‍රැඳී තිබූ ඥානය බටහිරට ලැබුණාට පසු ඇති වූ ආකාරයේ පුනරුදයක් නැවත සිදුවේ යැයි විශ්වාස කළ පිරිස. ඒ මෙතෙක් බටහිරට විවෘත නොවී තිබූ ඉන්දියාව ලංකාව වැනි පෙරදිග රටවල සැගව තිබුණු ඥානය බටහිරට විවෘත කිරීමෙන්. මේ පිරිසයි මහා උනන්දුවකින් අපරටවල තිබුණු පොතපත හදාරන්න ගත්ත. ඔවුන් මහන්සියෙන් පාලි සංස්කෘත ආදී භාෂා ඉගෙනගත්තා ඒ සඳහා. පලි ත්‍රිපිටකය බටහිර ලෝකයට ලබාදුන් රීස් ඩේවිඩ්ස්ලා අය්ති මේ ගොඩට. ඔවුන් පළමුවෙන්ම මහාවංසය දැක්කහම පුදුමයට පත්වුණා. ඒ මේ දූපතෙ වැසියෝ ඉතා සැලකිල්ලෙන් කාලානුක්‍රමිකව (Chronologically) සිද්ධි වර්තා කරමින් ඉතිහාසය ලියාතිබෙනවා කියන අදහසින්. ඔවුන් එය විශාල සොයාගැනීමක් ලෙස ලෝකයට ප්‍රකාශ කළා. එවිට පෙරදිග සිටින්නෙ ම්ලේච්ඡයන්ය යන අදහසේ සිටි අය මේ මතවලට එරෙහිවෙමින් මහාවංසය මිත්‍යාවක්ය කියා එය විවේචනය කළා. එවිට තීරණාත්මක ලෙස සටන් වැදුනේ මහවංසයේ විශිෂ්ටත්වය ගැන විශ්වාස කළ විල්හෙල්ම් ගයිගර් වැනි අයයි. මේ අය මහාවංසය ලංකාවේ ජාතික ඉතිහාස පොතය යන ඉතාම ඉහල තැන එය තැබුවා. අපේ සමහර කෙනෙක් මේ අදහස මුදුනින්ම පිළිඅරගෙන මහාවංසය අපේ ජාතික ඉතිහාස පොතයි කියමින් ඉංග්‍රීසින් විසින් ලබාදුන් දෑවැද්ද මහත් කැමැත්තෙන් තම කරට ගත්තා. අදත් ඒ අකාරයෙන් ම එය කරතබාගෙන යනවා. මේ නිසාම එයට එරෙහිවන්නන් බනින්නෙ මහාවංසය ලියූ මහානාම තෙරුන්ටයි. උන් වහන්සේ පක්ෂපාතී ඉතිහාසයක් ලිව්වාය කියා. මා මුලින් දක්වා ඇති පරිදි මහානාම තෙරුන් ජාතික ඉතිහාසයක් ලියා නැහැ. එනිසාම උන්වහන්සේ අද දවසේ ජීවත්වන අපේ වැරදිවලට බැනුම් ඇසිය යුතු නෑ. අප විසින් කළ යුත්තේ ඉංග්‍රීසින්ගෙන් සමහරෙකු විසින් මහාවංසය ඔසවා තැබූ තැනින් එය ගෙන එයට නිසිතැන නැවත හිමි කර දීමයි. යමෙක් අපේ යමක් අනවශ්‍ය ලෙස පහත්කොට සලකන විට අපි එයට එරෙහිවන ආකාරයටම අපේ යමක් අනවශ්‍ය ලෙස ඉහල තබා වර්ණනා කරන විටත් එරෙහි විය යුතුයි. නමුත් එය කරන එක අමාරුයි. එසේ වුවත් අප එය කළයුතුවන්නේ එසේ නැත්නම් බිහිවන්නේ විකෘති ඉතිහාසයක් වන බැවිනි. මේ සම්බන්ධයෙන් මා මීට පෙර ලියූ 'පිටස්තරයා ඉතිහාසය ගැන..' නමින් යුතු ලිපියද කියවන ලෙස ඔබගෙන් ඉල්ලනවා. එහි දී මා මතු කරන්නේ ඇත්තවශයෙන් සිදු වූ දේත් එයින් ලියා තබන දේත අතර පවත්නා බරපතල වෙනසයි. මේ වෙනස මහාවංසයට ද අන් ඔනෑම අයිතිහාසික මූලාශ්‍රයකට ද පොදුයි. මම හිතනවා මම ඔබේ ප්‍රශ්නයට ප්‍රමානවත් පිළිතුරක් දුන්නා කියා.

උපුටා ගැනීම පිටස්තරයා බ්ලොග් අඩවියෙනි


SocialTwist Tell-a-Friend

Read more...

Shadows of Silence | කෙටි චිත්‍රපටයක දිගු වේදනාව




අන්තර්භාෂණයම සංවාදය වූ කල කටහඬ නිෂ්ප්‍රභා වී රූපය ප්‍රභාමත් වී ආලෝලනය වෙයි. ඒ ප්‍රභාමත් බව තුළ ඇත්තේ නින්නාද නැඟෙන ගණ අන්ධකාරයයි. අන්ධකාරය තුළ සෙවනැලි නො නැඟෙන්නේ යැයි ඔබට තර්ක හැකිය. එබැවින් නිහැඬියාව තුළ හඬක් නොවෙතැයි සිතීමට ද ඔබට බාධාවක් නැත.

සියලු මානව හිමිකම් සුණුවිසුණු කරන ලද්දේ වුව පරපුරෙන් පරපුරට අඛන්ඩව නො නසා රැක ගත් සාමූහික ජීවිතය උපන් දිනයක රාමුගත කළ නිෂ්චල ඡායාරූපයක් පමණක් බවට පත් කරනු ලැබ ඇත. එවිට ස්වයං හුදෙකලාව මරණීය තුවාල ලත් සුව කළ නො හෙන හදවතක පරම විමුක්තිය බවට නිරායාසයෙන් පත් වේ. සිහිනය යථාර්තය බවට පත්වීමත්, යථාර්තය සිහිනය බවට පත් වීමත් අතර ඇති අන්තරය ශුන්‍යය වනුයේ අන්තර්භාෂණයේ ඓක්‍යය ලෙසය. බහුතරය නම්වන මහ ජාතිකත්වයේ අනුකම්පා විරහිත සුවිසල් බැකෝ යන්ත්‍රයෙන්-

-බලහත්කාරයෙන් මුලිනුදුරා උපන් භූමියෙන් තලා පිටමං කොට ආත්මීයව අනන්‍ය විය නො හෙන භූමියක ඉන්දන්නට තැත් කරන වෘක්ෂයක් මුදුන් මුල සොයා ගත නො හැකිව වේදනාවෙන් ඇඹරෙයි.

ඉදින් ප්‍රොයිඩියානු විෂ්ලේෂණයට අනුකූල විභව ආසය මඟහැර විමුක්තිය අත්පත් කර ගැනීමට නො හැකි යැයි සිතෙනා තරමටම ජීවිතය ව්‍යාකූල වෙයි. දෙපයේ මාපටැඟිලි එක්කර බඳින ලද මිනිසෙකුට ඩැක්කි සපත්තු යුගලක යථාර්තය සඟවා ඉබාගාතේ ඇවිද යා හැකිද?

රවීන්ද්‍රන් ප්‍රදීපන්ගේ ''නිහැඬියාවේ සෙවනැලි'' (Shadows of Silence) - මහත් සේ හඬනඟමින් පුපුරා යන රූපාවලියකි. සවන් ගුගුරුවන ඒ විසල් නිහැඬියාව තුළ මතු වන සංවාදයේ විසංවාදයත්, විසංවාදයේ සංවාදයත් පාර භෞතික ''සීතල සිහිනයන්ට'' භෞතික දෑසක් පළඳවයි. ප්‍රදීපන් සිය පරිකල්පනයේ තෙලිතුඩ ඉසියුම්ව හසුරුවමින් ඔහු අබියස ඇති සමාජ කැන්වසය මත නිමවන මානව සමීප රූපය හැඟීම් විරහිත වන්නේ වෙයි. ඒත් එකී පැතලි මුහුණේ ගැඹුරුතර පත්ලින් විනිවිද නැඟෙන්නේ මිදී ගිය අසංඛේය හැඟුම් සමුදායයකි. ජිවිතයෙන් අත්මිදෙන්නට වෑයම් කරන මිනිසකුට නාඳුනන සමාජ පරිසරය විසින් ජීවත් වන්නට අණ කරනු ලබන විට ඔහුගේ මානසික ඉරණම හෙවත් භෞතිකය වඩාත් සංකීර්ණ වන බව ප්‍රදීපන් කලාත්මක සන්දර්භයක ගොණු කරයි. මෙකී අණ නැඟෙනුයේ ජීවන පංගුකාරයන්ගේ ආදරණීය කටහඬින් වන විට වේදනාව කෙතරම් දරුණු වනු ඇද්ද?

ඉතා උස්ව නැඟුණු ගොඩනැගිල්ලක ඉහළ මාලයක වන පටු බැල්කනි තීරුවට වී අසීමිත ආතතියෙන් මිදෙනු වස් වේගයෙන් දුම්වැටියක් උරන මිනිසෙකුට පහළ සුසුදු හිම තලාවක රුහිරු ලපයක් මැද පතබෑවී සිටින ඔහුගේම මළකඳ පෙනෙන විට සැතපුම් සිය ගණනක් දිග දුම් වැටියක් උගුරට දෙකට බී හමාර කළ නො හැකිද? අතරමඟදී තමන්ගේම මෘත ශරීරය හමුවන මිනිසෙකුට තම රුධිරය ගලා ගිය මඟ ඔස්සේ රැකියාවකට යා හැකිද? ජීවිතය කෙතරම් වේගයෙන් ගෙවී යන්නේ වුවද මතකය දිය වී නොයන සංසිද්ධියකි. නිෂ්චිතව පවතින පරම බලවේගය අවිනිෂ්චිතභාවයම පමණි.

මරණය ලුහුබැඳ යන මිනිසෙකු පසුපස ජීවිතය ලුහුබැඳ පැමිණෙයි. මූකලන් ගැන්වුණු මුහුණක් හෙළිපෙහෙළි කළ විට කැටපත තුළින් අතීත ජීවිතය හමුවී සමස්ථ ආත්මය යළිදු මූකළන් ගත වේ. ශාරිරිකව අවතැන් කරන ලද මිනිසුන්ගේ මානසික අවතැන් වීම ප්‍රදීපන්ගේ රූප සෞන්දර්යය තුළ ගිලිහී නොයන කඳුළක් ලෙස මිදී පවතී. එය මිදී පවතින කඳුළක් බැවින් කිසිවෙකුටත් ඉන් මිදීමට නො හැකිය. බලහත්කාරයෙන් සිරගත කරන ලද දේශ දේශාන්තර සීතල සිහින ජීවිතය සර්පයකුගේ කිලිපොළා යන සුසුදු බඩවත සේ පෙනුනද පිටත පෘෂ්ඨය මත කැටයම් කපන ලද කළු කාෂ්ටකභාවයේ හංවඩුව විෂ ශරීරගත කොට ක්ෂණික මරණයක් ලබා නො දුන්නද ජීවිතය පුරා වෙලෙමින් ආත්මයේ දරණ ලා හිඳී.

මිනිසකුගේ ප්‍රශ්වාසී ළයමානය අවසන් මොහොත තෙක් සමස්ථ රූපාවලිය පුරා සංධ්වනියක් සේ දිගහැරෙන විට දුම්රියක හඬ නිෂ්චිත අරුත් නො නඟන පද මාලාවක් සහිත සරල ගීතයක් බවට පත් වේ. විසිර ගිය රුධිරය මත වැතිර සිටිනා ප්‍රාණ නිරුද්ධ මිනිසකුගේ සමීප රූපය තෙරක් නො පෙනෙන හිම තලාවක දුර රූපයක් බවට පත් වන විට වක්‍රෝත්තිය තුළ දුර රූපයක ඇති ඉන්දියන් සයුරේ මුතු ඇටය ඉරිතැලී ගිය සමීප රූපයක් බවට පත් වේ.

ඔබේ ජංගම දුරකථනය අඛන්ඩව නාද නැඟී ඇස ඇරෙන විට ඔබ දකිමින් සිටි සිහිනයේ හිම තලාවක වැතිර සිටින මිනිසකු සිටිය හැකිය. ඒ මරණය යැයි නො සිතන්න. ඒ අවතැන් කරන ලද ජීවිතයයි. ඉදින් ''නිහැඬියාවේ සෙවනැලි'' අතරින් පැන නැඟෙන කටහඬ නිහැඬියාවම බව කීමට ඔබට පිළිවන්ද?

Manjula Wediwardena | මංජුල වෙඩිවර්ධන



SocialTwist Tell-a-Friend

Read more...

ආයුබෝවන් නිරුවත් ධනවාදය! අපි කෲර ඔබ සාදරයෙන් පිළිගනිමු.




මහින්ද රාජපක්ෂ කළ ගුණ සලකන්නැයි පොළවේ හැපෙමින් පළි දරමින් ද , 'ලංකාවේ මේ සිදු වන්නේ කුමක්ද?' මැයෙන් අප පෙබරවාරියේ ලියූ ලිපියක් පිළිබඳ අදහසක් ඒ වකවානුවේ සුමිත් චාමින්ද සහෝදරයා විසින් ලියන ලද විශ්ලේෂණයක ගැබ් විය. අප නූතන තත්වය විග්‍රහ කිරීම සඳහා භාවිතා කරන්නේ යල් පැන ගිය ආවුද බව හා ඒවා මගින් සිදු වෙමින් තිබෙන දෙය තේරුම් ගත නොහැකි බව මට මතක හැටියට ඔහුගේ ලිපියේ වූ එක් අදහසකි. මා ලියූ ලිපියේ එක් තැනක මම මෙසේ සටහන් තැබීමි.


"මහින්ද රාජපක්ෂ කළ ගුණ සලකන්නැයි පොළවේ හැපෙමින් පළි දරමින් ද, අතිශය කෲර ලෙස පහර දෙමින් ද, මේ ඉල්ලා සිටින්නේ පශ්චාත් යුද කාලීන ලංකාවේ පාලනය සඳහා යුක්ති යුක්ත හිමිකමකි. එය ලබා දිය යුතු ය යන ස්ථාවරයේ ඉන්දියාව මෙන් ම එක්සත් ජාතික පක්ෂය ද සිටින බව පැහැදිලි ය. බටහිර ද එය දැඩිව ප්‍රශ්න කරන්නේ නැත. බටහිර ධනවාදයේ ඒජන්තයන් වන එජාපයට 'රට භාරයි නුඹට පුතේ' කියන්නට පෙර මහින්ද ලවා ම සුළු ජාතීන්ගේ අරගල හොඳින් හෝ නරකින් මර්දනය කිරීම, කම්කරු අරගල පාගා දැමීම, ජවිපෙ දිය කර දැමීම, ගැමි ගොවි පංතිය නාගරීකරණයට අභිමුඛ කිරීම, රාජ්‍ය අංශය විනාශයේ දොරටුව අසලට ගෙන ඒම හා පෞද්ගලික අංශය සංවර්ධනයේ එංජිම බවට පත් කිරීම වැනි දුෂ්කර කාර්යයන් සම්පූර්ණ කර ගැනීම බටහිර ධනවාදයේ ඉලක්කයයි. 2005දී අරලියගහමන්දිරයෙන් පිට වී ගිය සාමකාමී ආකාරයට ම මිස්ටර් ක්ලීන් ලෙස යළි එහි පැමිණිය හැකි සුබ අනාගතයක් පිළිබඳ සම්මුතියක් පිළිබඳ රනිල් වික්‍රමසිංහ දකින සිහිනය මේ හා සමපාත වේ."


අප සමග දුරකථනයෙන් කතා කළ තවත් මිතුරෙක් මා පිළිබඳ අනුකම්පා සහගත ස්වරයකින් පැවසුවේ මේ සිදු වන දේ ඒ අන්දමින් ම විග්‍රහ කළ නොහැකි බවයි. යථාර්ථය ඇතැම් විට අපට උවමනා තරම් සංකීර්ණ නොවී සරළ අන්දමින් පෙනී සිටියි.


අලුත් ඇමති මණ්ඩලය වැඩ අල්ලන්නේ කොළඹ නගරයේ පේමන්ට් කඩ හා සිඟමන වැනි දිළින්දන්ගේ පාදඩ රැකියා ප්‍රචණ්ඩ ලෙස අහෝසි කර දමමිනි. මෙය සමස්ත ක්‍රියාවලියක එක් පියවරක් ලෙස දැකීමට අසමත් පයින් යන්නෝ රුපවාහිනි කැමරා ඉදිරියේ සිය සතුට ප්‍රකාශ කළහ. කොළඹ වීදිවල පාදඩ ආධිපත්‍යය වෙනස් කිරීමට ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ ඔවුන්ගේ අනාගත සැලැස්මට අනුකූලව කොළඹ නගරය දේශීය හා විදේශීය ව්‍යාපාරිකයන්ටත්, ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ටත්, ඔවුන්ට සේවා සපයන වෙනත් ව්‍යාපාර හා ශ්‍රමිකයන්ටත් උචිත අන්දමින් සකස් කිරීමටයි. නාගරික සංවර්ධන අධිකාරිය ආරක්ෂක අමාත්‍යංශය යටතට ගැනීමට රජයට උවමනා වන්නේ මෙම ක්‍රියාවලිය වඩාත් මර්දනකාරී ස්වරූපයකින් කිරීමටයි.


දුප්පත් මිනිසුන් විසින් ඔසවා තබන ලද මේ ධනේශ්වර ආණ්ඩුවේ භාවිත ආර්ථික මූලෝපාය වන්නේ කිසියම් ස්ථානයක වෙසෙන මිනිසුන්ගේ ජීවිත සමස්තයක් ලෙස නගා සිටුවන සංවර්ධනයක් අත්පත් කර දීම නොවේ. මෙම ක්‍රමයට සංවර්ධනය යනු ප්‍රාග්ධනය, ඉදිකිරීම්, ගනුදෙනු, ආදායම් හා වියදම් ආදිය වැඩි වීමයි. මේ ආර්ථික වර්ධනය තුළ සාමාන්‍යයෙන් ඇති එකා තවත් ශක්තිමත් වන අතර නැති ම එකාට මිනිස් කසල තත්වය උරුම වේ. ලංකාව හැර වේගවත් ආර්ථික වර්ධනයක් ඉලක්ක කළ තවත් බොහෝ රටවල එය එසේ ම සිදු වී තිබේ.


පිටකොටුවේ ලුම්පන් දිළින්දන්ට දැන් ඉතින් තිබෙන්නේ නැවතත් සොරකම, මංකොල්ලකෑම හා මැර වැඩ වැනි දැන් වෙනත් විධියකින් කරන දන්නා වෘත්තියකට පිවිසීම හා එහි ආදීනව අනුභව කිරීමයි. 'අපරාධ ජාලය' ලෙස හඳුන්වන දේශපාලන නායකත්වයේ ආශිර්වාදය නොලබන අපරාධකරුවන් මර්දනය කිරීමේ විශේෂ මෙහෙයුමක් සඳහා ද ආරක්ෂක ලේකම්වරයා පොලිසියට නියෝග කර ඇති බව කටානේ පොලිස් විද්‍යායතනය විවෘත කිරීමේදී ඔහු හෙළිදරව් කළේය. සුබ අනාගතය යනුවෙන් හඳුන්වන ආර්ථික වෘද්ධියේ නාගරික දිළින්දන්ගේ කොටස එයයි.


පාදඩ පංතිය මර්දනය කිරීමෙන් පාලකයන්ට මධ්‍යම පංතිය අතර ජනප්‍රිය විය හැකි ය. එහෙත්, මීළඟ පොලිස් ක්‍රියාමාර්ග යොමු වනු ඇත්තේ ජීවන වියදම හමුවේ වැඩි පඩි ඉල්ලා සටන මගට පිවිසෙන වැඩ කරන ජනයාට එරෙහිව වීමට බොහෝ දුරට ඉඩ තිබේ. 'මේක ඉතා ම හොඳ වැඩක්' කියා රූපවාහිනීවලට කියන පයින් යන දුප්පත් මිනිසුන්ට ද හෙට ආර්ථික වර්ධනයේ තම කොටස ලැබෙනු ඇත. ඒ මේ වැඩපිළිවෙල මැද කොළඹින් පටන් ගෙන දිවයින පුරා අඬු බඬු විහිදුවද්දී ය. රජයේ සේවකයන් වැනි මධ්‍යම පංතිකයන්ගේ වෘත්තීය සටන්වලට ගුටි බැට ලැබෙන විට රූපවාහිනී කැමරා මේ දිළින්දන් සොයා යනු ඇත. 'මේක ඉතා ම හොඳ වැඩක්' යි එවිට ඔවුන් කියනු ඇත.


මෙවැනි ධනේශ්වර ආර්ථික සංවර්ධන මූලෝපායන් විසින් සමාජ විෂමතා අධික ලෙස ඉහළ නංවනු ලැබේ. ධනවතුන් තවත් ධනවත් වෙද්දී දිළින්දන්ට තව තවත් දිළිඳු වන්නට සිදු වනු ඇත. පැවැත්ම සඳහා මෙම ආර්ථික යන්ත්‍රයේ ඇණයක් මුරිච්චියක් වන්නට කාටත් සිදු වනු ඇත.


ලංකාවේ පාලකයන් විසින් මේ වන විට ඉදිරියට ගනිමින් සිටින කිසිදු සදාචාරයක් නැතිව සියල්ල විකුණාගෙන කන මේ ධනවාදී වැඩසටහන එක්සත් ජාතික පක්ෂයේ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' සැලැස්මෙන් වෙනස් වන්නේ වර්තමානයේදී රාජ්‍ය අංශයේ ව්‍යවසාය වැඩි වීම නිසා පමණි. රාජ්‍ය ව්‍යවසාය යනු මහජන දේපල යයි වරදවා වටහා ගත යුතු නැත. ඒ වනාහි, දේශපාලන හා නිලධාරි තන්ත්‍රයේ ඉහළින් ම වැජඹෙන පිරිස්වලට ලාභ ලබා දෙමින් මහජනයාට බරක් වන සමාගම් සමූහයක් මිස අන් යමක් නොවේ.


මෙම ආර්ථික මූලෝපායේ කොල්ලකාරිත්වය නිරූපණය කරන කදිම නිදසුනක් වන්නේ මේ වන විට විල්පත්තු අභය භූමියේ සිදු වෙමින් පවතින මහා වන විනාශයයි. යුද්ධයේ නිමාවත් සමග දැන් විල්පත්තු වනයේ වෘක්ෂලතා හා වන සතුන් මුහුණ දෙන්නේ අලුත් යුද්ධයකටයි. ඒ වනාහි විල්පත්තු වනෝද්‍යානය සංචාරකයන්ට අලෙවි කිරීම සඳහා සූදානම් කිරීමේ දැවැන්ත මෙහෙයුමකි. ඒ අතර මහා දැව ජාවාරමක් ද සිදු වේ.


ලංකාවේ මිනිස් ක්‍රියාකාරකම්වලින් අඩුවෙන් ම හානියට පත් වනාන්තර ප්‍ර‍දේශ පිහිටා තිබෙන වනාන්තරයකි, විල්පත්තුව. ජාතික වෘක්‍ෂලතා පනතට පටහැනි වන අයුරින් පුත්තලම – මන්නාරම මහාමාර්ගය ඉදිකිරීමට එරෙහිව මේ වන විට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. පෙත්සම්කරුවන් කියන පරිදි පැරණි මන්නාරම පාර විල්පත්තු අභය භූමිය හරහා තිබියදී කිලෝමීටර් 35 ක් දිග පුත්තලම - මන්නාරම නව මහාමාර්ගයක් ඉකුත් ජනවාරි මස 26 දින විවෘත කරන ලදී. එසේම වෙරළට මායිම්ව ද මාර්ග දෙකක් ඉදිකර තිබේ. මෙම ඊනියා 'සංවර්ධනය' විසින් විල්පත්තු වනාන්තරයේ ස්වාභාවික පරිසරයට හා වන සතුන්ට ඇති කර තිබෙන කරදරකාරී තත්වය සුළු පටු එකක් නොවේ.


මේ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින පරිසරවේදියකු හා බටහිර විරෝධී චින්තකයකු වන චම්පික රණවක මේ සිදු වන සන්තෑසිය ගැන කිසිවක් නොකියයි. ‍විල්පත්තු වනෝද්‍යානය තුළ මේ මහා 'සංවර්ධනය' සිදු වෙද්දී එම වන අයන භාර ඇමතිවරයා ඔහු වුව ද ඔහුට එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් සැබෑ පාලනයක් නොතිබිණි. ඊනියා බටහිර විරෝධී න්‍යායාචාර්යවරුන්ට පශ්චාත් යුදකාලීන ලංකාවේ අත් වී තිබෙන කණගාටුදායක ඉරණම පිළිබඳ මෙය කදිම නිදසුනකි. මත්පැන්වලට, දුම්වැටිවලට, ඒකොන්ට, කොට ගවුම්වලට, මස් කෑමට හා නිල් චිත්‍රපට ආදියට විරුද්ධ වනවා හැර කරන්නට අන් යමක් සිංහ කොඩිය අතින් ගත් ධනේශ්වර පාලනය විසින් සිංහල ජාතිකවාදී ව්‍යාපාරයට ද ඉතිරි වි නැත. අපට තිබෙන මූලික ප්‍රශ්නය චම්පික රණවක හා තවත් සිංහල ජාතිකවාදී න්‍යයාචාර්යවරයකු වන නලින් ද සිල්වා දැන් ක්‍රියාත්මක වන සංවර්ධන මූලෝපාය පිළී ගන්නවා ද යන්නයි. මෙම සංවර්ධන මූලෝපායත් බටහිර ධනවාදයත් අතර ඔවුන් වෙනසක් දකිනවාද?


එහෙත්, මෙය නොවැළැක්විය හැක්කකි. 2005දී ජනතා විමුක්ති පෙරමුණත්, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයක් එක්ව රනිල් වික්‍රමසිංහ රජය පරාජය කරමින් මෙම ධනේශ්වර ප්‍රහාරයට වැට කඩුලු බැඳීමට අවසන් උත්සාහය දරන ලදී. ධනවාදය මගහැර පසුගාමී සමාජ වෙනස්කම් ඔස්සේ සමාජවාදයට කෙටි මං සෙවූ උතුරේත්, දකුණේත් රැඩිකල් සමාජ ව්‍යාපාර දෙකට වෙල්ලමුල්ලිවයික්කාල්හිදී හා හම්බන්තොටදී සතුරා මුහුණට මුහුණ හමු විය.


අලුත් ශ්‍රී ලංකාවට හිරු පායමින් ඇත. ආයුබෝවන් නිරුවත් ධනවාදය! අපි කෲර ඔබ සාදරයෙන් පිළිගනිමු. සමාජවාදය වෙනුවෙන් සටන් කරන්නට අලුත් පාරක් සොයා ගත යුතුව ඇත.

අජිත් පැරකුම් ජයසිංහ

Read more...

Thursday, April 29, 2010

චම්පිකට, නලින්ට එන්න කියාපිය - මේවට උත්තර දෙන්න කියාපිය

ලංකාවේ පාලකයන් විසින් මේ වන විට ඉදිරියට ගනිමින් සිටින්නේ කිසිදු සදාචාරයක් නැතිව සියල්ල විකුණාගෙන කන ධනවාදයකි. මේ ධනවාදී සැලැස්ම එක්සත් ජාතික පක්ෂයේ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' සැලැස්මෙන් වෙනස් වන්නේ වර්තමානයේදී රාජ්‍ය අංශයේ ව්‍යවසාය වැඩි වීම නිසා ය. රාජ්‍ය ව්‍යවසාය යනු මහජන දේපල යයි වරදවා වටහා ගත යුතු නැත. ඒ වනාහි, දේශපාලන හා නිලධාරි තන්ත්‍රයේ ඉහළින් ම වැජඹෙන පිරිස්වලට ලාභ ලබා දෙමින් මහජනයාට බරක් වන සමාගම් මිස අන් යමක් නොවේ.


මෙම කොල්ලකාරිත්වය නිරූපණය කරන කදිම නිදසුනක් වන්නේ මේ වන විට විල්පත්තු අභය භූමියේ සිදු වෙමින් පවතින මහා වන විනාශයයි. යුද්ධයේ නිමාවත් සමග දැන් විල්පත්තු වනයේ වෘක්ෂලතා හා වන සතුන් මුහුණ දෙන්නේ අලුත් යුද්ධයකටයි. ඒ වනාහි විල්පත්තු වනෝද්‍යානය සංචාරකයන්ට අලෙවි කිරීම සඳහා සූදානම් කිරීමේ දැවැන්ත මෙහෙයුමකි. ඒ අතර මහා දැව ජාවාරමක් ද සිදු වේ.


ලංකාවේ මිනිස් ක්‍රියාකාරකම්වලින් අඩුවෙන් ම හානියට පත් වනාන්තර ප්‍ර‍දේශ පිහිටා තිබෙන වනාන්තරයකි, විල්පත්තුව. ජාතික වෘක්‍ෂලතා පනතට පටහැනි වන අයුරින් පුත්තලම – මන්නාරම මහාමාර්ගය ඉදිකිරීමට එරෙහිව මේ වන විට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. පෙත්සම්කරුවන් කියන පරිදි පැරණි මන්නාරම පාර විල්පත්තු අභය භූමිය හරහා තිබියදී කිලෝමීටර් 35 ක් දිග පුත්තලම - මන්නාරම නව මහාමාර්ගයක් ඉකුත් ජනවාරි මස 26 දින විවෘත කරන ලදී. එසේම වෙරළට මායිම්ව ද මාර්ග දෙකක් ඉදිකර තිබේ.


මෙම ඊනියා 'සංවර්ධනය' විසින් විල්පත්තු වනාන්තරයේ ස්වාභාවික පරිසරයට හා වන සතුන්ට ඇති කර තිබෙන කරදරකාරී තත්වය සුළු පටු එකක් නොවේ.


පසුගිය දිනෙක සිදු වූ තවත් සිද්ධියකදී සෝමාවතී වන උයනේ කොටසක්‌ බැකෝ යන්ත්‍ර යොදා විනාශයට පත් කරමින් සිටි වන අපරාධකරුවන් පිරිසක්‌ අත්අඩංගුවට ගත් වනජීවී නිලධාරීන්ට පහර දී එම අපරාධකරුවන් මුදාගෙන යාමට පාලක පක්ෂයට සම්බන්ධ ප්‍රාදේශීය සභාපතිවරයකු කටයුතු කළේය. මෙම ප්‍රාදේශීය සභාපතිවරයා සමග භික්ෂුවක් ද සිටි බව වාර්තා වේ. ජාතික මට්ටමෙන් විල්පත්තුව වනසද්දී ප්‍රාදේශීය දේශපාලනඥයෝ සෝමාවතිය වැනි කැළෑ වනසති. මේ වන විට මෙවැනි සියලු ජාවාරම් සිදු වන්නේ ආණ්ඩු පක්ෂයේ ආශිර්වාදයෙනි. පාලකයින්ගේ දොළ පිදේනි නොදී දැන් මෙවැනි ජාවාරම් කිරීමට බැරි තරම් ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් රටේ ඇති වී තිබේ.


මේ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින පරිසරවේදියකු වන චම්පික රණවක මේ සිදු වන සන්තෑසිය ගැන කිසිවක් නොකියයි. ‍


අපට තිබෙන මූලික ප්‍රශ්නය චම්පික රණවක හා තවත් සිංහල ජාතිකවාදී න්‍යයාචාර්යවරයකු වන නලින් ද සිල්වා දැන් ක්‍රියාත්මක වන සංවර්ධන මූලෝපාය පිළී ගන්නවා ද යන්නයි. මෙම සංවර්ධන මූලෝපායත් බටහිර ධනවාදයත් අතර ඔවුන් වෙනසක් දකිනවාද?


කොටින් ම මේ රටේ සම්පත් තිබෙන්නේ සුද්දන්ට විකුණාගෙන කන්නද?

උපුටා ගැනීම- w3lanka බ්ලොග් අඩවියෙනි.

Read more...

Wednesday, April 28, 2010

බ්‍රිතාන්‍යයන් අපව භේද කිරීමේ කතාව

මෙතෙක් මා සමග එකතු වූ සහෝදර ඔබ සැම දෙනා වෙත,
මේ කාර්යයේ දී හමුවූ ඔබ සැමදෙනාම දැක් වූ ප්‍රතිචාර මනුශ්‍යයත්වය පිළිබඳවද අපගේ මව්බිමෙ සාමය සහෝදරත්වය සම්බන්ධයෙන් ද මහත් වූ බලාපොරොත්තු ඇති කළා.

මා විශ්වාස කරන විදියට යුදභටයෙකු ලෙසින් මියගිය මගේ ලොක්කයියාගේ මරණයද තවත් දස දහස් ගණන් සිංහල/ දෙමළ තරුණ තරුණියන් ගේ මරණද වළක්වා ගන්න තිබුනා. ඒත් අපේ/ඔබේ දරුවන්ට එවැන්නක් උරුම නොකිරීමේ වගකීම අප සතුයි. ඒ වෙනු වෙන් නොසැලී පෙනී සිටින ලෙස ඔබ හැම දෙනාටම ආයාචනා කරනවා. මට වැටහෙන ලෙස අප ඉදිරියෙ අනතුරු දායක තත්වයන් තියෙනවා. සිංහල මාධ්‍ය ඒවා අපට පෙන්වා නොදෙන නිසා සහ ඒවා අපව මේලාවක (carnival) ජීවත් කරවීමට උත්සාහ කරන නිසා අපට ඒවා දැන ගැනීමට හැකියාවක් නෑ. වෙනත් තැනක ලියූ දෙයක් ඒ සඳහා සාධක ලෙස මෙහි දක්වනවා.

“මගේ ලිපියක මම ලිව්වා තව ප්‍රභාකරන්ල විශාල සංඛ්‍යාවක් බිහිවෙන්න අවශ්‍ය සාධක අපි ඉදිරියෙ තියෙනව කියල. ලඟදි හමුවුනු දෙමළ මිත්‍රයෙක් කිව්වා ලක්ෂතුනක් පමණ වූ දෙමළ අනාතයන් අතරින් දරුවන් පන්සියයක් තරම් වත් තමන්ගේ මව පියා හෝ ලඟම ඥාතියෙක් කොහෙන් හෝ වැ‍ටුනු ශෙල් වෙඩිල්ලකින් තුවාල ලබල නිසිප්‍රතිකාරයක් නැතිකමින් දවස් ගණන් වැල්ලේ ඉටිරෙද්දක් මත දුක් විඳල මැරෙනව දැකල තියෙනව කියල. මේ දරුවො හෙට ලොකුවනවා. මම දන්නේ නෑ ඒ අය කවුරු වෙයි ද කියල. ඒත් මේක භයානක තත්වයක්.”

අපි ඉතාම කල්පනා කාරීව සහ වගකීමෙන් කටයුතු කළයුතු බව මාගේ හැඟීමයි. යුද්ධය කිරීම හමුදාවේ කාර්යයක් වූවාට සාමය සහෝදරත්වය ඇතිකිරීම සහ එය පවත්වාගෙන යාම කළ හැක්කේ ඔබට සහ මට. එය අපගෙ අද දවසේ කාර්යයයි. වගකීමයි.

අප ජාතීන් ලෙස භේද වීම ඇරඹෙන්නෙ බ්‍රිතාන්‍යයන්ගෙ පාලන කාලේ. මෙහි ආ ඔවුන් විසිනුයි පළමු වතාවට මිනිසුන් ජාතීන් වශයෙන් වර්ගකොට ඔවුන්ගේ අතීතය ලියන්න පටන් ගන්නේ. ඒ තාක් අප අතර ජාතියමත ඇති වූ බෙදීමක් තිබුනේ නෑ. අප ඉතාම සහෝදරත්වයෙන් ජීවත් වුණා. බ්‍රිතාන්‍යයන් ඉංදියාවේ සහ ලංකාවේ මේ බෙදීම ඇති කළ ආකාරය මම ඉතාම කෙටියෙන් දක්වන්නම්.

ඉන්දියාවේ දී ඔවුන් මුලින්ම කළේ ක්‍රි පූ 1500-1000 අතර කාලය තුළ ඉන්දියාවට රුසියානු තණබිම් ප්‍රදේශවල සිට පැමිණි පැහැපත් සමකින්ද වඩා උස ශරීරයන්ගෙන්ද, පුළුල් නලල සහ තියුණු නාසයකින් හෙබි වඩා ශිස්ටජනතාවක් විසින් ඉන්දියාව පළමු වරට ශිස්ටසම්පන්න කළාය යන අදහස ඉදිරිපත් කිරීමයි. එකී ශිස්ට් ජනයාගෙන් කොටසක් රුසියානු තනබිම් ප්‍රදේශයේ දීම බෙදී යුරොපය දෙසට ගිය බවත් ඉන්ග්‍රීසින් එසේ ගිය අයගෙන් පැවත එන බවත් ඔවුන් තව දුරටත් කියා හිටියා. මේ 'ශිස්ට' ජනයා ඔවුන් "ආර්යයන්" කියා නම් කළා.
මේ අදහස ඉදිරිපත් කිරීමට ඔවුන් පදනම් කරගත්තේ සංස්කෘත භාෂාව හා ලතින් භාෂාව අතර පෙනෙන්නට තිබූ සමීප ඥාතීත්වයයි.

මේ අදහස ඉද්‍රිපත් කළ සැනින් ඉන්දියානු ජනයා අලුත් අකාරයකට බෙදෙන්න ගත්තා. උසස් කුළවල ජනයා තමන් මෙකී ආර්යයන් ලෙස තමන්ව හදුන්වාගත් අතර ආර්යයන් එනවිට ඉන්දියාවේ සිටි අනාර්ය ම්ලේච්ඡජනයා ලෙස වර්ග කෙරුනේ ඉන්දියාවේ සිටි දෙමළ ජනයා සහ අඩුකුලවලට අයත් ජනතාවයි. මේ ආකාරයට බ්‍රිතාන්‍යයන් ඉන්දීය ඉතිහාසය ලියන්නට පටන් ගත් සැනින් එහි ජනයා භේද වුණා. ඉන්දියාවේ දෙමළ ජනයා මේ 'ආර්ය' සංකල්පය පිළිගත්තේ නෑ. මේ අතර බ්‍රිතාන්‍යයන් විසින්ම ඉන්දු නිම්න (හරප්පා) ශිස්ටාචාරය සොයාගනු ලැබුවා. ඒ අනුව ඉන්දියාවේ ශිස්ට ජීවිතය ක්‍රි පූ 1500 වඩා පැරණි බවට තීරණය වුණා. මෙතෙක් 'ආර්ය' සංකල්පය නොපොළිගෙන සිටි ඉන්දියාවේ දෙමළ ජනයා සහ අඩුකුළ ජනයා මේ සොයාගැනීමත් සමග ඒය පිළිගන්නට පටන් ගත්තා. එනම් ක්‍රි පූ 1500-1000 අතර ‘ආර්යයන්’ ඉන්දියාව ආක්‍රමණය කළ බවත් එහිසිටි ස්වදේශීය දෙමළ/අඩුකුළ ජනයා යටපත් කළ බවත් එහෙත් එකී ස්වදේශීය ජනයා අශිස්ට ජන පිරිසක් නොව ඉතා දියුනු නගර ඉදිකරගෙන ජීවත් වූ ඉතා ශිස්ට ජනපිරිසක් බව. මේ අනුව නැවත වතාවක් ඉන්දියානුවන් භේද භින්න උනා හරප්පා ශිස්ටාචාරයේ අය්තිය වෙනුවෙන්. එකී භේදයට මුල් වූයේත් බ්‍රිතාන්‍යයන් හඳුන්වා දුන් "ආර්ය" සංකල්පයයි.

ඉන්දීය ඉතිහාසයෙ යුග බෙදීම කළේත් ඉන්දියානුවන් භේද භින්නවන ආකාරයට. ඔවුන් යුගතුනක් හඳුන්වා දුන්න. ඉන්දීය ඉත්හාසයේ හින්දු යුගය, මුස්ලිම් යුගය සහ බ්‍රිතාන්‍ය යුගය ලෙස. මෙහි දී හින්දු යුගය ස්වර්ණමය යුගය ලෙස දැක්වුණු අතර මුස්ලිම් යුගය එකී ස්වර්ණමය යුගය විනාසකළ යුගය ලෙස දැක්වූවා. මෙයින් හින්දු මුස්ලිම් භේදය බරපතල ලෙස ඇති කළා. ඔවුන් කිසියම් තර්කානුකූල ආකාරයකට මෙකී යුග බෙදීම කළා නම් අනිවාර්යයෙන්ම ඉන්දීය ඉතිහාසයෙ බෞද්ධ යුගයක් ද තිබිය යුතුයි. බුදුන්ගේ කාලයේ සිට බෙංගාලයේ පාල රජුන්ගේ අභාවය තෙක් එක් එක් මට්ටමින් බුදු දහම එහි පැවතුණා. නමුත් බෞද්ධයුගයක් මෙකී ඉතිහාසය ලිවීමට ඇතුලත් කොට නැත්තේ එවැනි යුගයකින් ප්‍රමෝදයට පත් වීමට හෝ භේදයක් ඇති කිරීමට බෞද්ධ ජනතාවක් ඉන්දියාවේ ජීවත් නොවීම විය හැකියි.

ලංකා ඉතිහාසය ලිවීමේ දීත් මේ දේම සිදුවුණා. ඉන්දියාවට පැමිණි ආර්යයන් එහි නොයෙක් අත පැතිර යාමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රි පූ 600 දී ලංකාවටද පැමිණ ජනපද ඉදිකරගත් බව කියා සිටියා. ඒ අනුව සිංහල ජාතිය යනු මෙකී රුසියානු තණබිම්වලින් පැමිණ ඉන්දියාවේ ජනපද ඉදිකරගත් ‘ඊනියා ආර්යයන්’ගෙන්ම පැවත එන ඔවුන්ගේ ඥාතීන්. මේ අනුව ඔවුන් ළඟම පිහිටි දකුණු ඉන්දියාව සමග කිසි සම්බන්ධයක් නැති ජාතියක්.

ලංකා ඉතිහාසයේ යුගබෙදීම සිදුකළෙත් මේ ආකාරයට අප අතර බෙදීම් ඇතිවන ආකාරයට. ලංකා ඉතිහාසය ප්‍රධාන යුග දෙකකට බෙදනු ලැබුවා. ඒ උතුරු ඉන්දියානු යුගය සහ දකුණු ඉන්දියානු යුගය වශයෙන්. වෙනත් විදියකට කියනව නම් ලංකා ඉතිහාසයේ උතුරු ඉන්දියානු යුගය යනු එහි ස්වර්ණමය යුගයයි. ඉන්දීය ඉතිහාසයෙ 'හින්දු යුගය' මෙනි. එසේම ඒ ස්වර්ණමය යුගය නිමාවන්නේ දකුණු ඉන්දියානු යුගය ඇරඹීමෙනි. මේ අනුව උතුරු ඉන්දියානු සම්භවයකින් පැවත එන උසස් සිංහල සංස්කෘතිය බිඳ දමන්නේ දකුණු ඉන්දියාවෙන් ආ ආක්‍රමණික දෙමළ ජනයායි. ඉන්දියාවේ හින්දු මුස්ලිම් ජනයා බෙදු ලෙසම ලංකාවේ සිංහල දෙමළ ජනයා බෙදුවේ ඔය ආකාරයටයි.

ඉන්දියාවේ සහ ලංකාවෙ මෑතකාලීන ඉතිහාස අධ්‍යයනයන් දෙස බලන විට පෙනෙන් වැදගත්ම වෙනස නූතන ඉන්දීය ඉතිහාසඥයන් බ්‍රිතාන්‍යයන් ලියූ ඉතිහාසය බරපතල ලෙස ප්‍රශ්න කිරීම සහ අලුතින් වඩාත් විද්යාත්මක ඉතිහාස්යක් ලිවීමට උත්සාහ කිරීමයි. අද ඉන්දියාවේ කිසිස් තැනක ආර්යයන් පැමිණියේය යන මතය උගන්වන්නේ නැත. ඒවෙනුවට බ්‍රිතාන්‍යයන් එබඳු අදහසක් ඉදිරිපත් කළේ ඇයි ද යන්න ද එහි ප්‍රතිඵල ද සාකච්ඡා කරනු ලැබේ. නමුත් ලංකාවේ තත්වය හිනා යන සුලුයි. තාමත් අපෙ පාසැල්වල විතරක් නොව ඇතැම් විශ්වවිද්‍යාලවලද ඉන්දියාවට ආර්යයන් ආ බවත ඔවුන්ගෙන් යම් පිරිසක් ලංකාවටද පැමිනීමෙන් සිංහල ජාතියද එම සංස්කෘතියද ඇරඹුනු බව උගන්වනු ලබයි.

මෙතැන දී මගේ අත් දැකීමක් විස්තර කරන්නම්. මම ඉන්දියානු විශ්වවිද්‍යාලයක මාස්ටර්ස් කරන කාලයේ ලංකාවෙන් අලුත් සිංහල ශිෂ්‍යාවන් දෙදෙනෙකු එම විශ්වවිද්‍යාලයට පැමිණියා. ටික කලක් ගිය පසු මා වෙත පැමිනි ඔවුන්
"හරි වැඩේනෙ.. මෙහෙ කෙල්ලො අපිට සලකන්නෙ අපි සවුත් ඉන්ඩියන්ස්ලා හැටියට.. මුලින් අපිව ගණන් ගත්තේවත් නෑ". කියල මහත් දොම්නස් මූනෙන් කියා හිටියා.

"ඉතින් මොකක්ද ඒකෙ ඇති ව‍රැද්ද?" මම ඇහුවා.

"අපි දකුණු ඉන්දියන් යැ?.. අපි පැවත එන්නෙ උතුරු ඉන්දියන් ආර්යයන්ගෙන්නෙ.." අමනාප මුනෙන්ම එක සහෝදරික් කිව්ව. මට හිනාව නවත්ත ගන්න බෑ.

"ඉතින් අපි උතුරු ඉන්දියානුවන් ගෙන් පැවත එනවා නම් අපි උතුරු ඉන්දියාවට ආවම උතුරු ඉන්දියාවේ මිනිස්සු අපිව වැළඳ ගන්න ඕනනේ,.. ඔයාල අපි වගේමයි කියල. ඇයි ඒ අය අපිට දකුණු ඉන්දියානුවො හැටියට සලකන්නේ?"

"ඒක තමයි අපිටත් තියෙන ප්‍රශ්නෙ"

"ඒක ප්‍රශ්නෙ නෙවෙයි. ඒක තමයි පිළිතුර. අපිව හැබෑ අපෙන් ඈත් කරල අපිට කිසි සම්බන්ධයක් නැති එහෙමත් නැත්නම් සාපේක්ෂවශයෙන් අඩු සම්බන්ධයක් ඇති තැනකට ගැටගහල තියේනවා. මොකකදෝ සැගවුණු අරමුණක් වෙනුවෙන්" මම කිව්වා.

අපි දකුණු ඉන්දියානු මානව වර්ගයකට ළඟ නෑකම් කියන බව ඇහුවාම ඔයාල අතර සමහර කෙනෙක් උනත් කළබල් වෙයි. මොකද මටත් ඒහෙම උනා මුලින්. මොකද තරිඳුගේ වචනෙන් කියනවා නම් අපේ මොළ හෝදල ත්යෙන නිසා. එහෙම තත්වයක් ඇතිවුනොත් මහාවංසය සෙල්ලිපි හා අපේ ජාතියේ ආරම්භය ගැන ලියා ඇති පර්යේෂණ ලිපි සොයා කියවීමට කාලය නාස්ති නොකර වහාම කන්නාඩියක් ඉදිරියට යන්න. එය ඔබට ඇත්ත කියාවි.

මාගේ මූලික තර්කය මේ ඉතිහාසකරණය තුළ අප දෙපිරිස කොතරම් කෘත්‍රිම ලෙස එකිනෙකාගෙන් ඈත්කොට ඇත්ද යන්නයි. සමහරු මහාවංසයට බැනවදිනවා එය පක්ෂපාතී ඉතිහාසයක් ලියා ඇතිබව කියමින්. නමුත් මම කිසිදා එය කරන්නෙ නෑ. හේතුව මහා වංසය අපේ ජාතික ඉතිහාස පොත නොවෙයි. මහාවංසකරු එවැන්නක් ලියන්න උත්සාහ කරල්ත් නෑ. ඔහු කළේ තමන් අයත් ආයතනය එනම් අනුරාදපුර මහා විහාරය වෙනුවෙන් එහි ඉතිහාසය ලිවීමයි. එහිදී තම ආයතනය වෙනුවෙන් පක්ෂපාතීවීමේ වරද කුමක්ද? අබයගිරිවාසී (මහාවිහාරයේ තරඟකාරී ආයතනය) භික්ෂූන්ද තම ආයතනයෙ ඉතිහාසය ලියන්නට ඇත. නමුත් ඒ කෘති අද ඉතිරිව නෑ. තව රුහුනෙ විසූ භික්ෂූන් "රෝහනට්ඨකතා මහාවංසය" නම් කෘතියක් කළ බවත් කියැවෙනවා. නමුත් ඒයද අද දකින්න නෑ. මේ සියල්ල තිබුනා නම් වඩාත් තොරතුරු අපට ලබාගන්න තිබුණා. මහාවංසය රටේ ජාතික ඉතිහාස පොත බවට පත්කොට මහා ඉහල තැනක තැබුවේ බ්‍රිතාන්‍යයන්. එය ඒ ආකාරයෙන්ම අදත් කරතියාගෙන යන නිසයි ඇතැම් දෙනා මහාවංස කතුවරයාට නිරපරාදේ බනින්නේ.

මා මේ සම්පූරණ ලිපියෙන් උත්සාහ කළේ අප ජාති දෙක කෘත්‍රිම ලෙස බෙදා ඇති ආකාරය සාකච්ඡා කිරීමයි. මාගේ අදහස් සමග එකඟ නොවෙන අය ඉදිරිපත් කරන යහපත් විවේචන වලට මම කැමතියි. ඒත් මීට පෙර මාගේ අදහස් සමග එකග නොවූ අයෙක් මට "මහ මූසලයෙක්" කියා බැන වැදුනා සේ බනින්න නම් එපා. මාත් සංවේදී හදවතක් ඇති කෙනෙක්..! තවම කිසිම නළුවෙක් නිළියක් රූපවාහිනියට ඇවිල්ල මං ගැන එහෙම නොකිව්වට... :D
ජුලි අග මාගේ නිබන්ධය ඉදිරිපත් කිරීමට ඇති බැවින් එතෙක් නැවත් පොස්ට් එකක් ලියන්නෙ නෑ. ඒත් මේ ලියා ඇති දේවල් ආශ්‍රයෙන් සංවාදයක් ඔබලා ආරම්බ කරනවා නම් සතු‍ටුයි. ජුලි මාසයෙන් පසු නැවත ආයෙ ලියනවා.


උපුටා ගැනීම පිටස්තරයා බ්ලොග් අඩවියෙනි.

Read more...

සිංහල දෙමළ සහෝදරත්වයේ නාමයෙන් කරන පුංචි ඉල්ලීමක්

මේ පොඩි ලිපිය ලියන්න හිතුවේ මා දැනට සිටිනා විශ්වවිද්‍යාලයේම වැඩිදුර අධ්‍යාපනය ලබන යාපනයේ දෙමළ සහෝදරවරුන් කිහිප දෙනෙකු සමග දින කිහිපයක් තිස්සේ වරින් වර ඇති වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියටයි. අද යාපනයේ වැසියන් විශාල ලෙස පීඩාවට පත්ව සිටිනවා විශාල සංඛ්‍යා වශයෙන් එහාට පැමිණෙන සිංහල සංචාරකයන් හා වන්දනාකරුවන් නිසා. ඒ එතරම් විශාල ජන පිරිසකට අවශ්‍ය පහසුකම් ඒ ප්‍රදේශයේ හිග බැවින්. ඒ නිසා වැසිකිලි ලෙස බාවිතා වන්නේ ඇතැම්විට පොදු ඉඩම් පිට්ටනි වැනි ස්ථාන. ඒ වගේම එකවර විශාල සංචාරක පිරිස් සෑම දිනෙකම අපි ජීවත්වන ප්‍රදේශයේ රෑ දවල් නැතිව සැරිසරන්න ගත්තොත් එය අපගේ එදිනෙදා ජීවිතයට කොතරම් බලපාවිදැයි මෙය කියවන ඕනෑම කෙනෙකුට වැටහෙනවා ඇති.

එසේ ම නල්ලූර් කන්දසාමී කෝවිල ඉදිරිපිට පදික වේදිකාවේ කුඩා කඩ දමාගෙන සිටින පිටතින් ගිය වෙළෙන්දන් තමන්ට අවශ්‍ය වැසිකිළි පහසුකම් නැති බැවින් ඒ කටයුත්ත සඳහා බාවිතා කරන්නෙත් කෝවිල් භූමියට අයත් ඉඩමමයි. නමුත් ඒ ගැන නෙවෙයි මම ලියන්න යන්නේ.

යාපනයට යන බොහෝ දෙනෙකුට ඒ ප්‍රදෙශයේ ජීවත්වන අයගේ සංස්කෘතිය ගැන අවබෝධය අඩුකම නිසා දෙමළ වැසියන්ගේ හිත් රිදවන බොහෝ දෑ අද සිදුවෙමින් පවතිනවා. දෙමළ හින්දු අය තම පූජ්‍යස්ථානවල ලිං සලකන්නේ ශුද්ද වූ ස්ථාන හැටියට. ඒ ලිං ජලය නෑමට ඇඳුම් සේදීමට පාවිච්චි කරන්නේ නෑ. නමුත් අද එහි යන සිංහල ජනයා විශාල ලෙස එය සිදුකරනවා. එය හින්දු ජනයා ගේ හිත් දැඩිලෙස පාරවන්නක්. දෙවනුව ඔවුන් පූජ්‍යස්ථාන ගොඩනැගිල්ල තුළ ද ඉන් පිටත ද ගමන් කරන්නේ අපි දාගැබ පැදකුණු කරන ආකාරයටයි. එනම් දකුණු අත නිතරම පූජනීය ස්ථානය දෙසට පවතින ලෙස. වම් අත ඒ දෙසට තිබෙන ලෙස ගමන් කළහොත් ඒය සැලකෙන්නේ ආගමික ස්ථානයට කරන අපහාසයක් ලෙස. මේ ගැනත් එහි යන අයට අවබෝධයක් නෑ. අපේ බුදුපිළිමය ඇති විහාර ගෙට පිටින් පැමිනෙන කෙනෙක් සපත්තු දමාගෙන හෝ තොප්පියක් දමාගෙන ගියොත් එය කොහොම පිළිගනීවිදැ'යි ඔබම හිතන්න.? සාමාන්‍ය හින්දු ජනයාට මේවා සුලු කාරණා නොවෙයි. නමුත් ඒවා වෙනස් කරන්න ඔවුන්ට හැකියාවක් නෑ. පහුගිය දා බුදුදහමට නිගරු කළාය කියා 'අකෝන්'ට රටට ඇතුළුවීම ද තහනම් කළා සේ තම ආගමික විශ්වාසවලට අපහාසවන ලෙස කටයුතු කරන කාට හෝ එරෙහිව කිසිම තීරණයක් ගැනීමට දෙමළ ජනයාට නොහැකි බව අපි හැම දෙනා ම දන්නවා නේ.

තව බොහෝ කරුණු ඇතත් තව එක්කරුණක් ගැන විතරක් සඳහන් කර මේ ලිපිය හමාර කරනවා. ඒ මෑතක සිට උතුරට පැමිණෙන හමුදාවේ පිරිස්වල පවුල්වල අයට නවාතැන් දීමට යාපනයේ වැසියන්ට සිදුවීමයි. මෙය සිදුවන්නේ "හෙට/අනිද්දා අපේ පවුලෙ මෙච්චර පිරිසක් යාපනයට එනවා. දවස් දෙකක් ඒ අයට ඕගොල්ලන්ගෙ ගෙදර නවාතැන් දෙන්න" කියා කරන ඉල්ලීමක් ලෙසට. ඇතම් තැනක මෙය බලය යොදා කළ අවස්ථාත් ඇති බව මාගේ මිත්‍රයන් පැවසුවා. මෙය සිදු වෙනවා ඇත්තේ යාපනයට එන පිරිස්වලට අවශ්‍ය තරම් නවාතැන් පහසුකම් නැතිකම නිසාත් යාපනයට එන තම ඥාතීන් නිසි පහසුකම් නොමැතිව දවස් ගතකිරීමට ඉඩහැරීම යාපනයේ සිටින තමන්ගෙ වගකීම් පැහැර හැරීමක් ලෙස එහි සේවය කරන හමුදා භටයින් සිතන නිසාත් විය හැකියි. නමුත් මහනුවර කොතරම් නවාතැන් ප්‍රශ්න තිබුනත් අම්පාරෙන් එහියන මට නන්නාදුණන ගෙදරක නවාතැන් සකසා දෙන්න එහිසේවය කරන මගේ හමුදා ඥාතියෙකුට බෑ. එහෙම ඉල්ලීමක් කරන්න වත් කවුරුවත් උත්සාහ කරන්නේ නෑ. නමුත් මෙය අද යාපනයේ සිදුවෙමින් පවතිනවා.

මෙය ලියන්න ආසන්නතම හේතුව වුනේ අප අතර සිටින එක් මිත්‍රයෙකුගේ නිවසට පෙරේදා පැමිණි හමුදා බට පිරිසක් තව දින දෙකකින් යාපනයට එන තම ඥාතීන්ට නවාතැන් සපයන ලෙස ඔහුගේ වයෝවෘධ දෙමාපියන්ට පැවසීමයි. මාගේ මිත්‍රයා මෙයින් දැඩි හිත් පීඩාවට පත්ව සිටිනවා. මේ කතාව ඇසූ එක් සිංහල සහෝදරයෙක් කියා සිටියේ ඇයි ඔයා අධිකරණයට යන්නේ නැත්තේ, මේක මානව අය්තිවාසිකම් කඩවීමක් කියායි. නමුත් මාගේ දෙමළ මිත්‍රයාගේ පිළිතුර ඉතාම වැදගත්. ඔහු කීවේ මට අධිකරනයෙන් වත් දෙමළ දේසපාලකයන්ගෙන්වත් මේකට උත්තර හොයන්න ඕන නෑ. ඒකෙන් වෙන්නෙ අපි තව භේදවෙන එක. සිංහල අය අතර මේක සාකච්ඡාවට ගැනිලා මේව නවත්ත ගන්න ක්‍රමයක් ඇතිවෙන එකයි මට ඕන කියායි. යාපනයට එන ජන සංඛ්‍යාව එහි ඇති පහසුකම්වල ප්‍රමානයට සීමා කළහොත් හමුදාවට අපේ ගෙවල් ගන්නට වෙන එක්ක නෑ කියායි.

මේ කියවන හැමගෙන්ම ඉල්ලනවා මේ කාරණයට හැකි ආකාරයෙන් මැදිහත් වෙන්න. මිනිස්සු දැනුවත් කරන්න පුළුවන් හැම ක්‍රියා මාර්ගයක්ම ගන්න. ඔබ දන්නා මාධ්‍යවලට සම්බන්ධ අය ඉන්නවානම් මේ ගැන ලියන්න සාකච්ඡාකරන්න පොළඹවන්න. රජය හෝ එහි යන ජනයා විවේචනය කරන්න නෙවෙයි. එය මගේ මිතුරාගේ බලාපොරොත්තුව නෙවෙයි. ඒ වෙනුවට ඔවුන් දැනුවත් කරන්න.

අප නොදන්නා කාලයේ දෙමළ ජනයා අප රට තුළ අවමානයට ලක්ව ඇත්නම් එයට අපට කරන්නට දෙයක් ඉතිරිව නෑ. ඒත් අප ජීවත්වන කාලය තුළ සිදුවන එවැනි දේ සම්බන්ධයෙන් අපට වගකීමක් තිබෙනවා. මේ කියවන (පෙර ලිපිවල මා ඉදිරිපත් කර ඇති අදහස්වලට පක්ෂ විපක්ෂ) සහෝදර සහොදරියන් හැම කෙනෙක්ම පුලුවන් යමක් කරයි කියල අපේක්ෂා කරනවා.

උපුටා ගැනීම පිටස්තරයා බ්ලොග් අඩවියෙනි

Read more...

Friday, April 23, 2010

මාලනියගේ පාර්ලිමේන්තු ගමන සහ ප්‍රදීපන්ගේ කෑන්ස් ගමන














ප්‍රදීපන් - ප්‍රදීපන් රවීන්ද්‍රන් යාපනයේ උපන්නෙකි.දැනට පැරීසියේ ජිවත් වන ඔහුවිසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම කෙටි චිත්‍රපටය පසුගිය බර්ලින් අන්තර්ජාතික චිත්‍රපට උලළෙහි අවසාන වටය නියෝජනය කළහ.පසුව ඔහු නිශ්පාදනය කළ සිය දෙවනි කෙටි චිත්‍රපටය මෙවර ප්‍රංශයේ පැවැත්වීමට නියමිත කෑන්ස් චිත්‍රපට උලළෙහි අවසාන තරගකාරී වටය නියෝජන‍ය කරයි.

මාලනී - හෙළ සිනමාවේ නිළිරැජින ලෙස කිරුල පලන් මාලනී පොන්සේකා නම් ඈ දෙස් විදෙස් ලෙස සම්මානයට පත්ව ඇති අවස්ථා බොහෝයි.ආකාස කුසුම් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඈ නොබෝදා ලබාගත් කීර්තිය නිසාමදෝ, මෙරට නව පාර්ලිමේන්තුව නිතරගයෙන්ම නියෝජනය කිරීමට හිමිකම් ලද්දාය.

අහස ගුගුරුවනව.ඉදල හිටල ගහන පොදවලට මහ කජ්ජක් කරන්න බහැ.පොලවෙ රස්නිය යවන්න අඩුම ගානෙ දවස් දෙක තුනක් වත් එක දිගට වහින්න වෙයි.ඌස්නෙ?මෙක මුළු ලොකේටම පොදු දෙයක් වෙන්න වැඩි දවසක් ගත වෙන්නෑ.පරිසරයට එරෙහි මානව ක්රියාකරකම්!මිනිස්සු එදාට උන් න්ටම කියා ගනියි.

"මෙ දවස් වල හැදෙන පොඩි පොඩි අසනීපෙත් ඉගුරු - කොත්තමල්ලි වලින් ගොඩ දාන්න බෑ"

ඉංග්‍රීසි බෙහෙත් අහුරක් කටට ඔබාගන්න ගමන් මටත් හිතන දේවල්. පිස්සු !

මාලනී අද පාර්ලිමෙන්තු ගියා.....! ප්‍රදීපන්ගෙ ෆිල්ම් එක කෑන්ස් තෙරිලා.ඔලුවට මොකක්ද වගේ.මේ දෙක කොතන හරි එකට පැටලෙන තැනක් තියනව.සුනන්ද දේශප්‍රි‍ය හිටියනම් හරියටම අහල දැන ගන්න තිබුන.කරුමෙ!සැබෑ ප්‍රජාතන්ත්‍රවාදීන් මනුස්සය මෙහෙ ඉන්නවට විරුද්දයි.අපරාදෙ?හොද මනුස්සය.

මම හවස ධර්මසිරි අය්යට කතා කරල ප්‍රදීපන් ගැන විස්තරේ කිවිවා.එයා ගොඩක් සතුටු උනා.අනික,එයා මේපාර පැරිස් ගිය වෙලාවෙ එයාට දුන්නු ප්‍රදීපන්ගෙ 1st ෂොර්ට් ෆිල්ම් එකේ ඩී.වී.ඩී 1 මට පුළුවන් ඉක්මනට හොයල දෙන්න පොරොන්දු උනා. ප්‍රදීපන් මට ඒක ඉල්ලගෙන බලන්න කියල ගොඩක් දවස්.ඒත් එක මග අරුන.පහුගිය ටිකේ ධර්මසිරි අය්ය හුගක් බ්සී.

මාලනී පාර්ලිමෙන්තු ගිය එක අපේ එකෙක්ට මාර ආතල්. මට කෝල් කරල කියනව මාලනී අක්ක එක්ක ඉන්ටවිව් 1ක් දාගන්නලු.මං ඇහුවහම මොන මගුලටද කියල? කියනව මගේ ෆෝන් එකේ සල්ලි නෑ පුළුවන්නම් කෝල් 1ක් ගනින් වැඩක් දෙන්න පුළුවන් කියල.

මාත් රටගවය.ගත්ත මූට කෝල් 1ක්.මෙන්න යකෝ මෙතෙන්ට තතාගතය කඩාපාත් උනා. "මචං පොඩක් ඉදපන් මූ ස්පීකර් ෆෝන් දාන්න කියනව. "

"නෑ මචං තතාගතයො!මං මේ මූට කියන්න හැදුවෙ මේක තමයි වෙලාව.ආට් ෆීල්ඩ් එකේ වැඩ ටික කරගන්න. " මූ පටන් ගත්ත ගිරව වගේ අපි දෙන්නම හවුල් කරගෙන .

"ඇයි බං,මතකද එදා චිත්‍රපටි සංස්ථාවෙ තිබ්බ පතී ලොක්කගෙ ගුණ සමරු වැඩේදි මාලනී අහල තිබුනෙ චිත්‍රපටි සංරක්ෂණාගාර වැඩපිළිවලක් ගැන.අනිවාරෙන් ගෑනිට මතක්කලොත් ඕක හදනව.යකෝ ලෙස්ට ලොක්කත් එදා ඉදන් එල්ලනව මේ රටට චිත්‍රපටි සංරක්ෂණාගාරයක්. අනික බං විමල් වීරවංශටනෙ දෙන්න යන්නෙ සංස්කෘතික ඇමතිකම.මචං අමතක කරන්න එපා විමල වමට සැලුට් දාල දකුණට ගියාට බුවා ක්‍රියේට්ව් මැන්.අනිව........... මාලනී එක්ක එකතුවෙලා වැඩක් දෙනව.අපිට තියෙන්නෙ ගානට වැඩේ සෙට් කරන්න.යකෝ නො 1කේ ෆිල්ම් ස්කූල් 1ක් මෙහේ දාන්න වැඩේ සෙට් කරන්න ප්ලෑන් කරන්න පුළුවන්."

භුක්....තතාගතය හෙන වෙලාවක් තදකරගෙන හිටපු හිනාවක් දැම්ම එලියට.

"ඇයි, උඹල හිනාවෙන්නෙ?ගොන් වස්සනේ.කව්ද ඊයෙ පෙරේදා ඉංදියාවෙන් ඇවිත් ගි බුවා.යකෝ......අමිතා - බචන්.පොර අවෙ අපිට වාසියක් කරන්න.මචං මං කියන්නෙ ආන්ඩුව හරහා පොරට ඩීල් 1ක් දැම්මුවොත්, පුනායි වලින් ලෙක්චස්ල ගෙන්නල ෆිල්ම් ඩිග්රියක් දෙන්න පුලුවන් ස්කූල් 1ක් මෙහේ දාන්න බැරිද?අනික මේ දවස් වල ජැක්සන් ඇන්තනිත් ෆෝම් වෙලා ඉන්නෙ.පොරවත් කොහෙන් හරි මෙකට පටල ගත්තොත් අපෙ වැඩේ 100% ගොඩ.ඇයි බන් ජැකාටත් ඕනි කොහොම හරි පොර නියායෙන් උගේ වල ඉහාගන්නනෙ?

" මචං මූට මන්ද මෝල් ! "

තතාගතය ගත්ත මගේ ෆෝන් 1.වන විනාසයක් වෙන්න යන්නෙ!ඕකුන් දෙන්න සෙට් උනොත් වලියක්.දැන් මට තියෙන්නෙ අහගෙන ඉන්න.

"යකෝ උඹ පැණි ගහලද?නැත්තම් හීනෙන් බයවෙලාද?"

තතාගතය පටන් ගත්ත උගේ හෑල්ල.

"ගොන්වස්සො ! නිකමට හිතල බලපන්,මාලනීට ඔතනටම යන්න ඔනිද ඕක කරන්න.යකො එහෙම නියම උවමනාවන් තියන උන් මේකෙ නෑ.එහෙමනම් එයාට මුලින්ම කියන්න තිබුණනෙ අනේ මට මේ නහින-දෙහින කාලෙ ඔය මන්ත්‍රීපුටු එපා ඒවෙනුවෙන් කලාව ගැන හිතල මගේ ඉල්ලීම් ලබාදෙන්න කියල කලාකරුවො එක්ක තියන ප්‍රශ්න කතා කරල උඹ ඔය කියනව වගෙ ඉල්ලීම් ඉල්ලන්නනෙ?

යකො නොබෙල් තෑගි ප්‍රතික්ෂේප කරනඋන් ඉන්නෙ පිටරට.මෙහේ නාට් පපඩම් උනත් රයිගම් ටෙලි සම්මානෙත් ගන්නෙ බිමදිගාවෙලා.

අනික උඹ විමල් ගැන කතාකරනව.මොනව දැනගෙනද?යකෝ විමල් ඉඩම් හා ගොඩකිරීමේ අමාත්යංශය අරගන්න ක්‍රියේටිව් විදියට ප්ලෑන් කරනව.පොරට ඕනි ඇති සංස්කෘතියක් නෑ. "

පොඩ්ඩක් ඉදහන් කො......

මූ ආයිත් තතාගතයව ඩිස්ටබ් කරනව.

අහ ගනින්.......

තතාගතයත් අරින්නෑ.

යකෝ අමිතා-බචන් මෙහේ අවෙ අපිට ඉටිගෙඩියක් කරන්න නෙවෙයි.උන් කරන්න යන ෆිල්ම් ෆෙස්ටිවල් එක වෙන කොහෙ හරි කරොත් බර ගානක් යන්ව.අපේ ගොන්නුටික අල්ලගෙන ඊටවඩා තුන් හතර ගුණයක් අඩුවෙන් මෙහේදි ගොඩදාගන්න."

තතාගතය මල පැනල ෆෝන් 1 කට් කරා.

"ඇයි බං මල පනිනව මූ කියන ඒවට.මම ආපු වැඩෙත් අමතක උනා.

තතාගතය මාත් එක්ක කතාවට වැටුන.

"මචං ! ප්රදීපන් ලගදි කරපු ෆිල්ම් 1 කෑන්ස් තේරිල. පේස් බුක් 1කේ විස්තර දාල තිබුන.අපි මොකක් හරි දෙයක් වෙනුවෙන් කරන්න ඕනි බං.නැත්තම් විමුක්තිට වෙච්චීඑකේ අනික ඌට වෙන්නෙ.තත්වෙ ඊටත් දරුණු වෙනව,මොකද දෙමළ හින්ද.මම ච්න්තටත් මැසේජ් 1ක් දැම්ම.උදය නම් වැඩේ ගැන දන්නව.මම දැක්ක පේස් බුක් 1කේ කමින්ට් 1ක් දාල තියනව.

මම යනව මචං රෑ උනා.මේ?උඹ ඩෞන්ලොඩ් කරපු අලුත් ෆිල්ම් නැද්ද?හැබයි හොද 1ක්.

මූ ඒපාර මගේ කම්පිව්ටරේට බැස්ස.

"මරු.....

මූ පස්වනක් පිනා ගිහිල්ල.

"...ගියපාර වෙනිස් ෆෙස්ටිවල් 1කේ ගෝල්ඩන් ලයන් ගත්ත එක. Micky rourke ගෙ The wrestler මරු.....

තතා බැස්ස මිදුලට.

"මචං ! අද වෙනකොට ලංකාවෙ හිටිය දෙමළ ජනතාවගෙන් හැම මිනිස්සු 10 දෙනෙකුටම තුන්දෙනෙක් ජිවත් වෙන්නෙ පිටරට.අපේ සමාජය බලකලා අයට යන්න කියල. ප්‍රදීපනුත් එහෙම ගිය යාපනේ කොල්ලෙක්.ආටිස් කෙනෙක් විදිහට ඌට අපේ උදව් ඕනි ඇත්ත ප්‍රශ්නෙ කතාකරන්න......

තතාගතය හෙන සීරියස් ටොක් 1ක් දීල යන්න ගියා.

සටහන සහ අහගෙන සිටීම

නුවන් ජයතිලක

SocialTwist Tell-a-Friend

Read more...

  © Blogger templates Newspaper III by Ourblogtemplates.com 2008

Back to TOP