Monday, May 10, 2010

කිඹුලකු නොවී ඔහු ගැන සිතමු

ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ කතිකාව නව මානයකට | The dialogue on Prageeth Ekneligoda moves to a new dimension

ප්‍රගීත්, බිරිද හා දරුවන්

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී දින සියයකට වැඩි ය. ඔහු වෙබ් අඩවිවල ජනප්‍රිය මාතෘකාවක් වෙද්දී ඔහු පිළිබඳව අප ලියුවේ ඉතා මඳ වශයෙනි. ඊට හේතු කීපයක් තිබිණි.


පසුගිය කාලයේ ලංකාවෙන් පළා නොයමින් විකල්ප අදහස් සන්නිවේදනයේ යෙදුණු හා අරගල කළ මාධ්‍යකරුවන් හා සමාජ ක්‍රියාකාරිකයන් කිහිපදෙනා ජීවිත අත්දැකීමෙන් හොඳින් දන්නා කරුණක් ඇත. එනම්, මාධ්‍යකරුවන් පැහැරගෙන ගිය, වධ හිංසනයට ලක් කළ, අතුරුදහන් කළ පිරිස ඒ දේ කළේ ආවාට ගියාට නොවන බවයි.


එවැනි සෑම ක්‍රියාවක් ම ඉතා ම සැලසුම් සහගත අන්දමින් පැහැදිලිව තෝරා බේරාගෙන කළ ඒවා බව ද, එම පුද්ගලයන් පැහැදිලි මිලිටරි ඉලක්ක බව ද කිව හැකි ය. ඔවුන් මිලිටරි ඉලක්ක බවට පත් වූයේ ඔවුන් යුද්ධයේදී බලපෑම් සහගත අන්දමින් ප්‍රචණ්ඩ ක්‍රියා කළ අයගේ සතුරු පාර්ශ්වයට සේවය කළ නිසා ය. ඇතැමෙක් ඉලක්ක වන්නට ඇත්තේ ඔවුන් මාධ්‍යකරුවන් ලෙස කළ කාර්යභාරය නිසා නොව වෙනත් කටයුතු නිසා ය.


එක් එක් පුද්ගලයාට දෙන ලද දඬුවමේ ස්වභාවය අනුව ඔහු මෙම ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙයවූ පාර්ශ්වයට ඉලක්ක වූ ආකාරය සිතා ගත හැකි ය. ලසන්ත වික්‍රමතුංග කොළම මහා මාර්ගයකදී උල් ආයුධයකින් හිසට ඇන මරා දමන්නේ ද, පෝද්දල ජයන්ත කොණ්ඩය කපා, අත පය කඩා ආපසු එවන්නේ ද, චන්දන සිරිමල්වත්ත නිකම් ම නිදහස් වන්නේ ද මේ අන්දමටයි.


සාමය වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් කිසිවකු මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවල ගොදුරු බවට පත් වූයේ යයි සිතිය නොහැකි ය. ඒ යුද වැදී සිටි දෙපාර්ශ්වය එවැනි අයට අත නොතැබීමට තරම් හොඳ වූ නිසා නොව රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘති මිස සැබෑ සාම ව්‍යාපාර ලංකාවේ නොතිබුණු නිසා ය.


ප්‍රගීත් එක්නැලිගොඩ කිසිදු තොරතුරක් නැති අන්දමින් වාෂ්ප වූයේ ය. ඔහු ද අප කියන අන්දමේ ප්‍රචණ්ඩත්වයකට ගොදුරු වූයේ නම් එයට හේතු විය හැක්කේ ඔහු මාධ්‍යකරුවකු ලෙස කළ කිසියම් දෙයකැයි සිතීමට තරම් සාක්කි ඔහුගේ ලේඛන අතරතුර නැත. (බුදු අම්මෝ බයයි කියමින් රටින් පළා ගිය ඇතැම් මාධ්‍යකරුවන්ට වඩා නම් ප්‍රගීත් ලියා තිබේ.)


ප්‍රගීත් ගැන දැන් හඬා වැළපෙන, කවි ලියන කිසිවෙක් යහපත් සමාජයක් ගොඩනැඟීම පිළිබඳ දුටු සිහින බොඳ වීම, සමාජ සංවිධාන ගරා වැටීම, පෞද්ගලික ජීවිතය අර්ථ සම්පන්න එකක් කර ගැනීමට අසමත් වීම ආදී කරුණු මත කලකිරීමට පත් ව හුදකලාව තැවෙන මෙවැනි මිනිසුන් පිළිබඳ සංවේදී නොවෙති. ඔවුහු ජනවාරි 24දාට පෙර සිටි ප්‍රගීත් පිළිබඳව ද බලු මයිලකට තරම් තැකුවේ නැත. ඔහුගේ හඬට සවන් යොමු කළේ ද නැත.


ප්‍රගීත් පිළිබඳව අද ගලා හැලෙන්නේ ද කිඹුල් කඳුළු ය. අනෙක් පැත්තෙන් කිඹුලකු වීම හේතුවෙන් ඇතැමුන්ට ඩොලර් හා යුරෝපා රටවලට වීසා ආදිය ලැබෙන බව ද ප්‍රසිද්ධ රහස් ය. තවත් සමහරු උත්සාහ කරන්නේ ප්‍රගීත්ගේ කර පිටින් තමන්ගේ ගමන් යන්නටයි.


ප්‍රගීත් යනු ලංකාව හා ලෝකය මීට වඩා යහපත් තැනක් වනු දැකීමේ උවමනාවක් තිබුණු, ඒ වෙනුවෙන් ලියූ, කතා කළ, කාටුන් ඇන්ද පුද්ගලයෙකි. එහෙත්, මෙවැනි සෙසු බොහෝ අයට මෙන් ම ඔහුට ද විවේචනයක් මිස තම අරමුණ ඉටු කර ගැනීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් නොතිබිණි. එවැනි සැලසුමක් සකස් කර ගැනීම සඳහා එක්ව ක්‍රියාත්මක වීමේ හැකියාවක් නොතිබීම මෙම සමාජ කණ්ඩායමේ මූලික ලක්ෂණයකි.


ප්‍රගීත් එක්නැලිගොඩ ද පසුගිය සමයේ අතුරුදහන් වූ තවත් බොහෝ දෙනෙකු මෙන් නොවිසඳුණු අභිරහසක් වන්නට ඉඩ තිබේ.


අප මෙම සටහන තබන්නේ ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ සමාජ කතිකාව වෙනස් වන අන්දමේ මැදිහත් වීමක් රජයට සම්බන්ධ, ඔහුගේ මිතුරකු ද වන, මෙවැනි සිදුවීම් පිළිබඳව හොඳ අවබෝධයක් ඇති අයකු ද වන සී.ඒ. චන්ද්‍රප්‍රේම දිවයින පුවත්පතෙන් ආරම්භ කර ඇති බැවිනි.


චන්ද්‍රප්‍රේම ලියන්නේ ප්‍රගීත් අතුරුදහන් වීම පිළිබඳ තොරතුරු චන්ද්‍රප්‍රේම දැන සිටිය හැකි යයි මතයක් සමාජයේ පැතිරීම ‍හේතුවෙන් ඇති වූ කෝපයක් සමගයි. ඔහුගේ අතීතය පිළිබඳ යම් තොරතුරු හා වර්තමානයේදී ඔහු රඟන්නට උත්සාහ දරන භූමිකාව එකට පැටළීම හේතුවෙන් ඔහුට සිදු විය හැකි හානිය පිළිබඳ සංවේදීකම හේතුවෙන් ඔහුගේ ලිවීම දූෂණය වී තිබේ. එහෙත් එම ලිපිය නව කතිකාවක් ඇති කිරීමට ඉවහල් වන බව නිසැක ය. පහත පළ වන්නේ ඉන් උපුටා ගත් කොටසකි. සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න.


"පසුගිය වකවානුවේ අවශ්‍ය වී සිටින පුද්ගලයන් ගැන තොරතුරු ලබාගැනීමට ඇතැම් අය උස්‌සගෙන ගොස්‌ තිබුණත් ඒ තොරතුරු ලබා ගත්පසු ඔවුන් නිදහස්‌ කොට තිබුණු බවට වාර්තා ඇත. මෙවැනි පැහැරගැනීම් වුවමනාවෙන්ම කරන ඒවා මිස වැරැදීමෙන් කරන ඒවා නොවේ. පසුගිය අවුරුදු ගණනාව තුළම වැරැදීමකින් උස්‌සගෙන ගියාය කියන එකම පුද්ගලයා ප්‍රගීත්ය. මෙය සිදුවිය හැක්‌කක්‌ නොවේ. එපමණක්‌ නොව පසුගිය වකවානුව පුරාම උස්‌සගෙන ගියා යෑයි කියන සියලුම පුද්ගලයන් පාහේ දෙමළ ජාතිකයෝය. ප්‍රගීත් සිංහලය. සිංහලයෙක්‌ උස්‌සන් යන විරල අවස්‌ථාවක වැරැදීමක්‌ සිදුවේ යෑයි සිතිය හැකිද?"

-අජිත් පැරකුම් -


SocialTwist Tell-a-Friend

0 ඔබේ අදහස්:

  © Blogger templates Newspaper III by Ourblogtemplates.com 2008

Back to TOP