Monday, May 10, 2010


සෝමාවතියේ පෑගී මිය යාම හා බුදුන්ගේ පෙළහර තහනම

ඇල්ල වැලිමඩ පදිංචිව සිටි ඩබ්ලිව්. පොඩිඅප්පුහාමි හැත්තෑ හැවිරිදි ය. ඔහු මිය ගියේ සෝමාවතී පුදබිමේදී ය. ඒ තමන් පැමිණි ලොරි රථයට ගොඩවීමට ගොස් බිමට වැටී බව දිනමිණ පුවත්පත පවසයි.


ගලේවෙල එම්. පී. ලයනල් සමරවික්‍රම 42 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සෝමාවතී පුදබිම තුළ බස් රථයකින් ගමන් කරමින් සිටියදී හෘදයාබාධයකින් හදිසියේ මිය ගොස් ඇත. රාජගිරියේ පදිංචිව සිටි එම්. විමලාවතී (53) ද මිය ගියේ හෘදයබාධයකිනි. කිසිවෙක් සෝමාවතියේදී පෑගී මිය නොගිය බව කියන්නට ඇතැමෙකුට උවමනා වී තිබේ.


එහෙත්, අධික තදබදය නිසා 25දෙනෙකු රෝහල්ගත කරන්නට තරම් මිරිකී ඇක. තවත් 25දෙනෙකුවත් අතරමං වූහ. මහා ජන තෙරපීම හෙවත් stampede කියා සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ මෙවැනි සිද්ධි ය. මක්කම වැනි තැන්වල සිදු වන මෙවැනි සිද්ධි ලංකාවේ ඉතා දුලබ ය. මීට පෙර බොහෝ විට අපට අසන්නට ලැබුණේ පෙරහැරවල අලි කුලප්පු වීමෙන් සිදු වූ අනතුරු පිළිබදවයි.


සෝමාවතියේ 'පෑගී මිය යාම' සිදු වූයේ එහිදී බුදු රැස් විහිදුවන බවට එක් භික්ෂුවක් විසින් කරන ලද ප්‍රචාරයට රැවටී එම ආශ්චර්යය දැක ගැනීමට අති විශාල ජනකායක් එහි රැස් වූ බැවිනි. මෙකී ආශ්චර්යයන් හෙවත් පෙළහර දැක ගැනීමට යන බෞද්ධයන් නොදන්නා කරුණක් වන්නේ බුදුන් මෙවැනි ක්‍රියා තහනම් කර ඇති බවයි.


සවැනි වස සැවතෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ වස් අවසන රජගහනුවර වැඩම කළහ. මෙසමයෙහි නදීයෙහි පාවී ආ සඳුන් ලියක් ලද රජගහනුවර සිටුවරයා ඉන් සඳුන් පාත්‍රයක් තනා සැට රියන් උසට උණ ගසක් නංවා ඒ මත තබා “නගරයේ රහත්හු වෙත්නම් එය ගනිත්වා” යි ප්‍රචාරය කළේය. නොයෙක් තිර්ථකයන් හා පූරණ කාශ්‍යප ආදී විවිධ ශාස්තෘවරු ද පැමිණ එය උපායෙන් ලබා ගැනීමට උත්සාහ ගත් නමුත් නොහැකි විය. සත්දිනක් ඉක්ම යද්දී පිණ්ඩෝල භාරද්චාජ තෙරුන් අහසින් වැඩ සෘද්ධි ප්‍රාතිහාර්යය දැක්වීම නිසා පැහැදීමට පත් සිටුවරයා එය උන්වහන්සේට පුජා කළේය.


මෙම සිද්ධිය දැනගත් බුදුරජාණන් වහන්සේ ලාභ ප්‍රයෝජන සඳහා සෘද්ධි ප්‍රාතිහාර්යය පෑම නොකළ යුතුයැයි භික්ෂු සංඝයාට නියම කළහ. බුදුහු සෘද්ධි ප්‍රාතිහාර්යය පෑම මෙහිදී තහනම් කර වදාළ හෙයින් ඉදිරියට බුද්ධ ශාසනයේ ප්‍රාතිහාර්යය පෑමක් නොසිදුවෙතැයි කල්පනා කළ තිර්ථකයෝ ප්‍රාතිහාර්යය පෑම සඳහා බුදුරදුන්ට අභියෝග කරන්නට වූහ.


මේ කාරණයෙහි ලා බිමිබිසාර රජතුමා බුදුරදුන් විමසන ලදුව, “රජතුමනි, ඔබගේ අඹ උයනෙහි අඹ අනුභව කිරිම යම් කලක තහනම් කළ විට ඒ තහනම වැසියනට මිස තමාගේ උද්‍යානයේ අඹ කෑම රජුට බලනොපන්නාසේම ප්‍රාතිහාර්යය පෑම පිළිබඳ තහනම බුදුරනට බලනොපාති”යි පැහැදිලි කොට, එතැන් සිට සාරමසක් ඉක්ම ගිය තැන සැවැත්නුවර ගණ්ඩම්බ රුක් මුල්හිදී සෘද්ධි ප්‍රාතිහාර්යය පාන බව වදාරා සැවැත්නුවර බලා වැඩම කළහ.


වර්තමානයේ ඇතැම් පුද්ගලයන් ආගම් මාරු කරන්නේ ද ලාභ පතාගෙනයි. එසේම, පුද්ගලයන් සතු විවිධ ගුප්ත බලයන් පිළිබඳ ප්‍රචාරය කළ දැවැන්ත ජන රාශීන් රැස් කර ඔවුනට පොත් පත්, කැසට්, සංයුක්ත තැටි ආදිය විකුණා ලාභ ගරා ගන්නා භික්ෂු ව්‍යාපාරික පිරිසක් ද ලංකාවේ බිහි වී සිටිති. මේ පිරිස් සිය කටයුතු සඳහා යම් යමි ප්‍රසිද්ධ සිද්ධස්ථාන පාවිච්චි කරන අතර එම ස්ථානවලට රැස් වන බැතිමතුන්ගෙන් ලැබෙන පඬුරු හා ඔවුන්ට භාණ්ඩ විකුණන වෙළඳුන්ගෙන් ලැබෙන කොමිස් ආදිය හේතුවෙන් මෙම සිද්ධස්ථාන භාර භික්ෂූහු ද මෙම ව්‍යාපාරවලට ඉඩ සලසා දෙති.


අන්ධ බැතිමතුන් අතර සිටින මාධ්‍යකරුවන් ආදීන් සියුම් ලෙස උපයෝගී කරගෙන මෙම ප්‍රාතිහාර්ය සිද්ධි පිළිබඳව පුළුල් ප්‍රචාරයක් ලබා ගැනීමට මෙම ආගමික ව්‍යාපාරික පිරිස් සමත් වෙති.


එහෙත්, සෝමාවතියේ සිදු වූ අසිරිමත් සිද්ධිය යයි දිනමිණ පුවත්පත දකින්නේ වෙනත් දෙයකි. තමන්ට රැවටී ජීවිතය අහිමි කර ගත් මිනිසුන්ගේ සිරුරු ආදාහනය කරන්නත් පෙර මේ කූට ව්‍යාපාරිකයන් ජනතාව තව දුරටත් නොමග යැවීම ආරම්භ කර ඇති බව අපේ නිරීක්ෂණයයි.


උපුටා ගැනීම- w3lanka බ්ලොග් අඩවියෙනි.

0 ඔබේ අදහස්:

  © Blogger templates Newspaper III by Ourblogtemplates.com 2008

Back to TOP