මහාවංසයට හිමි විය යුතු තැන සහ එයට දී තිබෙන තැන
(මේ ලිපිය ලිවීමට හේතු වුනේ කලින් මා ලුයූ 'බ්‍රිතාන්‍යයන් අපව භේද කිරීමේ කතාව' නම් ලිපියට NoTerrorism සහොදරයා/සහොදරී මතු කළ ප්‍රශ්නයකි).
මහාවංසය ලිව්වෙ 5 සියවසේ විතර අනුරාධපුර මහාවිහාරයෙ ජීවත් වුනු මහානාම නම් හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ ඈතම අතීතේ ඉඳල මහසෙන් රජුගේ අවසානය (303 AD) දක්වා කාලය තම කෘතියෙන් ආවරණය කරනවා. ඉන්පස්සෙ කොටස් ලියැවුනු කාල ගැන මතභේද තියෙනවා. සමහර දෙනෙක්ගෙ අදහස 12 සියවසෙ ජීවත් වුනු ධර්මකීර්ති කියන හාමුදුරුවො දෙවෙනි කොටස ලිව්වා කියල. ඔහොම නුවර කාලය වෙනකම්ම කොටස් වසයෙන් මෙය ලියැවෙනව. සමහර දෙනෙක් ගෙ අදහස මහානාම හිමි ලියූ මුල් කොටස මහාවංසය ලෙස හැදින්වුනු බවත් ඉතිරි කොටස් චූලවංසය ලෙස හැදින්වුනු බවත්.
ඒ කොහොම වුනත්
1.මේ සියලුම කොටස්වල කතුවරු හාමුදුරුවරු.
2. ඒ සියලුම දෙනා මහාවිහාර වංසයේ (ථේරවාදී ගුරුකුලයේ) හාමුදුරුවරු.
මේ අය ඉතා වෙහෙස ගෙන කියාහිටින කතාවක් තියෙනවා. ඒ තමයි තමන් නියෝජනය කරන ගුරුකුලයේ තමයි පිරිසිදුම බුදුදහම ආරක්ෂාවී අත්තේ යන්න. ඒ සඳහා බුදුහාමුදුරුවන්ගේ සිට මිහිඳු හාමුදුරුවො ලංකාවට පැමිනීම දක්වා වූ බුදු දහමේ කතාවත් එතැන් සිට ලංකාව තුළ එය වර්ධනය වූ අකාරයත් උන්වහන්සේලා අඛණ්ඩව විස්තර කරනවා. ඒ හැර සාමාන්‍ය ජන ජීවිතය ගැන හෝ ලංකාවේ වාසය කළ සාමාන්‍ය ජනයා ගැන හෝ කිසිවක් මහා වංසයේ එන්නේ නෑ. හේතුව ඒවා ගැන කතා කිරීම මේ කතුවරුන්ගේ අරමුණ නෙවෙයි. රජුන් ගැනද ආක්‍රමණ ගැනද ඒ අය කතාකරනවා. ඒ අනුරාධපුරය මුල්කරගෙන පැවති මහාවිහාරයට මෙකී කාරණා දෙක අතිශයින්ම තීරනාත්මක ලෙස වැදගත් නිසා. මුල් යුගයේ දකුණු ඉන්දීයවෙ ජනයාත් ලංකාවෙ ජනයාත් යන දෙපිරිසම බෞද්ධයි. ලංකාවේ මුල්කාලයෙ දක්නට ලැබෙන ආකාරයෙ භිෂූන් වෙනුවෙන් තනා පූජාකළ ළෙන් හා ලෙන් ලිපි ඒ ආකාරයෙන්ම දකුණු ඉන්දියාවෙනුත් හමුවෙනවා. වළගම්බා රාජ්‍ය කාලයෙ ලංකාව ආක්‍රමණය කළ දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ගෙන් එක් අයෙක් බුදුන්ගෙ පාත්‍රය ලැබුනාම "මට මේ ඇති" කියා ඒකත් අරං ආපහු ගියා කියල මහාවංසෙම කියනවා. බුදුන්ගෙ පාත්‍රය වැදගත් බෞද්ධයෙකුට විතරයි. ඒ කියන්නෙ දකුණු ඉන්දීය දෙමළ ජනයාත් ලාංකිකයිනුත් යන සියලු දෙනා බෞද්ධයි. ඒ කාලයෙ සිංහල හා දෙමළ භික්ෂූන් කිසි වෙනසක් නැතිව කටයුතු කරන්න ඇති. එය විශේෂයෙන් වාර්තා කරන්න තරම් දෙයක් නොවුණු නිසා මහාවංසයේ ඒ ගැන විශේෂ වාර්තා නෑ. නමුත් පෙර දැක් වූ ආක්‍රමණයෙන් පස්සේ අවුරුදු 14ක් මෙහෙ සාගතයක් තිබුණාලු. ත්‍රිපිඨකය කටපාඩමින් ගෙන ආ භික්ෂූන් මිය යන්න ගත්තලු. මේ වෙලාවෙ යම් උගත් භික්ෂූන් පිරිසක් ජීවිතය රැකගන්න පැනයන්නේ සොළී දේශයට. මෙයින් හොදටම පැහැදිලියි ඔවුන්ට උදව් කරන්න නවාතැන් දෙන්න එහෙ පිරිස් හිටියා. ඔවුන්ට සම්බන්ධ ආයතන එහි තිබුණා. ඒ එහෙත් මෙහෙත් එවක පැවතුනේ පොදු ආගමික තත්වයක් නිසා.
නමුත් මහාවංසෙ ලියන කාලේ එනම් 5 සියවස වෙනකොට දකුණු ඉන්දියාවෙ තත්වේ වෙනස්වෙලා. නාගර්ජුන, ආර්යදේව, අසංග, වසුබන්දු වැනි මහායාන දාර්ශනිකයන්ගෙ බලපෑමට දකුණු ඉන්දියාවෙ බුදු දහම නතුවෙලා තිබුණා. මේ මහායාන අදහස් ලංකාවටත් එන්න ගත්ත. අනුරාධපුරයේම වූ අබයගිරි භික්ෂූන් මේ නව අදහස් බාරගත්ත. මහාවිහාරීය භික්ෂූන් මේක සැලකුවේ තම ආයතනයට හා ථේරවාදී බුදුදහමට එල්ල වූ මහා තර්ජනයක් ලෙසට. මේ ගැටුමේ ඵලයක් ලෙසයි මහායාන අදහස් දැරූ භික්ෂූන් 60 දෙනෙක් ව වෙර ළකුණු ඔබ්බවලා (හණගහලා... !) ලංකාවෙන් පිටුවහල් කරන්නේ. සංඝමිත්‍ර කියන දකුණු ඉන්දීය භික්ෂුව ඇවිත් රජුගේ හිත් දිනාගෙන මහාවිහාරේ භික්ෂූන්ට දන් දීම තහනම් කරවන්නේ. මහාවිහාරය බිඳ දාලා ඒ ඉඩමේ උඳු වපුරවන්නේ. මේ ගැටුම අවසානේ සංඝමිත්‍ර භික්ෂුව ථේරවාදී පක්ෂය ගත් ගිහියෙකු අතින් මරුම් කනවා.
මේ සියල්ල දෙස බැලුවම පේනවා මහාවංසය ලියන්න හේතු වුනු පසුබිම කොයිවගේ ද කියලා.
මම මුල් ලිපියේ කිව්වා අබයගිරි වාසී භික්ෂූන් ලියූ වංසකතාත් තිබුනා නම් මීට වඩා තව විස්තර ලංකාවේ ඉතිහාසය ගැන දැනගන්න තිබුණා කියා. නමුත් අද එ කිසිවක් ඉතිරිව නෑ. ඒවාත් තිබුණා නම මහාවිහාර පර්ෂවය විසින් නොකී බොහෝ කතා අපට දැනගන්න තිබුණා. අබයගිරිය මහාවිහාරය මෙන් නොව මහායානික අදහස් වලට වැදගත් තැනක් දුන්න. 5 සියවසේ ලංකාවට ආව ෆා හියන් නම් චීන සංචාරකයාට අනුව ඔහු පැමිණි කාලයේ අබයගිරියේ 5000ක් භික්ෂූන වාසය කර තිබෙනවා. එහෙත් මහාවිහාරයේ ජීවත්ව ඇත්තේ භික්ෂූන් භික්ෂූන් 3000 පමණයි. අතිශයොක්ති බැහැර කරල ගත්තොත් අබයගිරිය වාදීන් (මහයානික අදහස් වලට නැඹුරු වූවන්) සංඛ්‍යාත්මකව වැඩියි. අද ඔබ අනුරාධපුරයට ගියොත් පෙනේවි අබයගිරිර්ය ආයතනයක් හැටියට කොතරම් දැවැන්ත ද කියා. 9-10 සියවස් වලට අයත් අත්තානි පරිහාර නමින් හඳුන්වන ටැම් ලිපි වලින් පෙනෙනවා අබයගිරියට අයත්ව තිබුණු ඉඩම් කොපමණ ද කියා. මේ අනුව ඔවුන් එක් රැස්කළ දැනුම් ප්‍රමාණය සහ පොත්පත් ප්‍රමාණයද ඉතා විශාල විය හැකියි. ඔවුනුත් මහාවංසය මෙන් තම ආයතනයේ ද තමන් පිළිගත් බුදුදහමේ ද ඉතිහාස කතාව ලිව්වා නම් නිසැක ලෙසම දකුණු ඉන්දියාවේ කාන්චිපුරම් හි පල්ලවාරාමය වැනි ආයතන සමග එය පැවැත් වූ සබඳතාත් මෙහි වාසය කළ දෙමළ භික්ෂූන ගැනත් අපමන තොරතුරු අපට ලබාගන්නට ඉඩ තිබුනා. අවාසනාවට අබයගිරිවාසීන්ට අයත් එකම එක පොතයි අද ඉතිරිව ඇත්තේ. එය ඉතිහාස තොරතුරු සපයයන කෘතියක් නෙවෙයි.
තව රෝහනට්ඨකතා මහාවංසය නම් කෘතියක් ද රෝහණයේ සිටි භික්ෂූන් විසින් ලියා ඇති බවට තොරතුරු ලැබෙන බව පෙර ලිපියේ මා කීවා. එයත් අද දකින්නට නෑ. මේසියල්ල තිබුණා නම් අපට වඩා විශාල තොරතුරු ප්‍රමාණයක් එක් රැස් කරගන්න තිබුණා. ඒත් ඒ තොරතුරු මතත් අපිට වඩා දියුණු ඉතිහාසයක් ලියන්න අමාරුවෙයි. හේතුව මේව ලිව්වේ භික්ෂූන්. ඔවුන්ගේ උවමනාවන් වෙනස්. සාමාන්‍ය ජන ජීවිත ගැන ලියන එක ඔවුන්ට උවමනා කළේ නෑ. ඒකට ඒ අයට දොස් කියලත් වැඩක් නෑ. ඒ අය ක්‍රියා කළේ එදාට වැදගත් ය කියල පෙණුනු දේවල් වෙනුවෙන් මිස අද අපට වැදගත්ය කියල පෙනෙන දෙවල් වෙනුවෙන් නෙවෙයි.
දැන් අපිට මහාවංසයේ දුටු ගැමුණු කතාව දිහා වෙනස් විදියකට බලන්න පුලුවන් වෙයි. මම කිව්ව මහාවංසෙ ලියැවුනේ 5 සියවසේ පමණ ජීවත් වුණු මහානාම නම් හාමුදුරු කෙනෙක් අතින් කියා. ඒකියන්නේ දුටුගමුණු ගේ කාලෙන් අවුරුදු 600 කට විතර පස්සේ.
5 සියවස වෙද්දී ලංකාවට දකුණු ඉන්දීය ආක්‍රමණයක් එල්ල වී ත්බුණා. මේ අතර මහානාම නම් හාමුදුරු කෙනෙක් ධාතුසේන නම් පුංචි කුමාරයෙක්ව ආක්‍රමණිකයගෙන් බේර ගෙන කලා ඔයෙන් එතෙරට අරගෙන ගිහින් මහණ කරල හංගගෙන හදාවඩා ගන්නවා. මේ මහනාම තෙරුන්ගෙ වුවමනාව ආක්‍රමණිකයාට එරෙහිව සටන් වැදීම සඳහා සුදුසු පුද්ගලයෙක් නිර්මාණය කිරීමයි. ඒ වෙනුවෙන් උන් වහන්සේ හැකි සෑම දේම කරනවා. මෙහි දී අපිට වැදගත් කාරණය තමයි මහාවංසය ලියූ තෙරුන්ගේ නමත් ධාතුසේන කුමරා හදාවඩා සටනට යැවීමට කටයුතු කළ භක්ෂුව ගේ නමත් "මහානාම" වීම. ඒ දෙදෙනාම ජීවත් වුනේ එකම කාලයේ එනම් 5 වැනි සියවසේ වීම. මේ ගැන කතා කරන පරනවිතාන මහතාත් සැක කරනවා මේ දෙදෙනෙක් නොව එක් අයෙකුම බව. මගේ අදහසත් එයමයි. මේ කටයුතු දෙකටම සම්බන්ධ වුනේ දෙදෙනෙක් නොවෙයි. එක් අයෙක්මයි.
මහාවංසයේ මුලු පරිච්ඡේද 37න් දුටුගැමුණු කතාවට පරිච්ඡේද 20 ක් පමණ වෙන්කරන්නෙත් දසමහා යොදයින් ගැන කණ්ඩුල ඇතා ගැන මෙතරම් හිත්ගන්නසුළු කතා ඉදිරිපත් කරන්නේත් ධාතුසේනට අවශ්‍ය පිරිස්බලය සටන් ශක්තිය හදාදීමට බවයි මගේ අදහස. දුටුගැමුණුගේ මුවට නගල කියන 'මාගේ වෑයම රජ සැප පිණිස නොව, බුදුදහමේ චිරස්ථිතිය සඳහාය'යන වාක්‍යය ඇත්තටම මහානාම තෙරුන් ධාතුසේන ලවා කියවන වාක්‍යයක් යනු මගේ අදසයි. ඇත්තටම මේ කාලය වනවිට (5 සියවස) වනවිට ආක්‍රමණිකයා ථේරවාදී බුදු දමට විරුද්ධ අදස් දරන්නෙක් වීමට ඇති ඉඩ වැඩියි. මක්නිසාද ද්කුණු ඉන්දියාවේ බුදුදහම මේවෙනකොට ගොඩාක් වෙනස් වී තිබූ නිසා. දුටු ගැමුණු කතාවේ එන එක් වැදගත්කියමණක් දුටු ගැමුණු රජු අතින් මියගියේ මිනිසුන් එක හමාරක් ය යන අදහස. එක යනු පංසිල් සමාදන් වූවෙකි. භාගය තෙරුවන් සරණ ගිය අයෙකි. මියගිය අන් සියළුදෙනා තිරිසන් සතුන් සමානය.
බුදුදහමේ කවර ඉගැන්වීමක් මත වත් පිහිටා මෙවැන්නක් පැවසිය නොහැකිය. අනෙක් අතට මහාවංසයට අනුව මේ වාක්‍යය පවසන්නේ සාමාන්‍ය භික්ෂූන් පිරිසක් නොව පුවඟු දිවයිනෙන් ආ රහතන්වහන්සේල පිරිසකි. ඇයි මහානාම හිමිට මෙවැනි බුදුදහමේ මූලික පදනම් ඉගැන්වීම්වලට ද පටහැනි යමක් කියන්නට සිදු වූයේ? මගේ අදහස මේ මගින් මහානාම හිමි පිළිතුරු දෙන්නේ තම ශිෂ්‍යයාටයි. කලක් පැවිදිව සිටි ධාතුසේන මිනිසුන් මැරීම පව් නැත්දැයි අසන ප්‍රශ්නයට දෙනෙ පිළිතුර මේ වාක්‍යය තුළ ඇති බැවිනි. දුටුගැමුණු කතාව මහානාම තෙරුන් විසින් තමන්ගේ කිසියම් උවමනාවක් සාධනය කරගැනීම සඳහා කෘත්‍රිමව විශ්ටත්වයට නගා ඇතිබව (glorified) මම කියන්නේ නිකම්ම නොවේ. මහාවංසය ලියැවීමට සියවසකට පමණ පෙර ලියැවුණු දීපවංසයේ දුටුගැමුණු සඳහා වෙන්කොට ඇත්තේ ගාථා කීපයක් පමණයි. මාගේ විශ්වාසයේ හැටියට දීපවංසකරුට දුටුගැමුණුගේ වැදගත්කමට අඩුවක් කිරීමට කිසි හේතුවක් මට පෙනෙන්නේ නෑ.
මේ සමස්ත සාකච්ඡාව තුළ මා පෙන්වා දීමට උත්සාහ කරන්නේ මූලාශ්‍රයයක් භාවිතා කිරීමේදී එය ලියැවුනු වටපිටාව, එහිකතුවරයාගේ පුද්ගලික අභිලාශයන්, ඔහුට තිබුනු සීමාවන්, ඒ කාලයේ තිබුනු උවමනාවන් ආදී සියල්ල සැලකිල්ලට ගැනීමේ ඇති වැද්ගත් කමයි. එසේ කරන විට අදාල මූලාශ්‍රය ප්‍රමාණය ඉක්මවා වැදගත් තැනකට පත් නොවේ. නමුත් මාගේ අදහස මහාවංසය එබඳු ප්‍රමාණය ඉක්මවාගිය වැදගත් තැනකට පත්ව ඇති බවයි. ඒසේ ප්‍රමාණය ඉක්මවා ගිය වැදගත් තැනක එය තැබුවේ මෙරටට ආ ඉංග්‍රීසින්ය යනු මගේ අදහසයි.
එය සිදුවුනේ මෙහෙමයි. පෙරදිගට ආ ඉංග්‍රීසින් අතර ආකාර කිහිපයකට අප දෙස බැලූ ඉංග්‍රීසින් සිටියා. එක් කණඩායමක් වූයේ පෙරදිග සිටින්නේ ම්ලේච්ඡයන්ය, ඔවුන්ව ශිෂ්ට කිරීම ඉංග්‍රීසීන්ගේ කාර්යයි කියා සිතූ අය. තව පිරිසක් හිටියා පෙරදිග වැසියා පහසුවෙන් පාලනය කිරීමට නම් ඔවුන්ගේ ඉතිහාසය සංස්කෘතිය චාරිත්‍රක්‍රම නීති ආදිය දැනගත යුතුය කියා සිතූ අය. ඉංදියාවේ හා ලංකාවේ ඉතිහාසය ලියැවුනේ ඔවුන් අතින්. තුන්වැනි වැදගත් පිරිස වුනේ නැගෙනහිර රෝම අධිරාජ්‍යය බිඳ වැටුණු පසු කොන්ස්තන්තීනෝපලයෙ එතෙක් රැඳී තිබූ ඥානය බටහිරට ලැබුණාට පසු ඇති වූ ආකාරයේ පුනරුදයක් නැවත සිදුවේ යැයි විශ්වාස කළ පිරිස. ඒ මෙතෙක් බටහිරට විවෘත නොවී තිබූ ඉන්දියාව ලංකාව වැනි පෙරදිග රටවල සැගව තිබුණු ඥානය බටහිරට විවෘත කිරීමෙන්. මේ පිරිසයි මහා උනන්දුවකින් අපරටවල තිබුණු පොතපත හදාරන්න ගත්ත. ඔවුන් මහන්සියෙන් පාලි සංස්කෘත ආදී භාෂා ඉගෙනගත්තා ඒ සඳහා. පලි ත්‍රිපිටකය බටහිර ලෝකයට ලබාදුන් රීස් ඩේවිඩ්ස්ලා අය්ති මේ ගොඩට. ඔවුන් පළමුවෙන්ම මහාවංසය දැක්කහම පුදුමයට පත්වුණා. ඒ මේ දූපතෙ වැසියෝ ඉතා සැලකිල්ලෙන් කාලානුක්‍රමිකව (Chronologically) සිද්ධි වර්තා කරමින් ඉතිහාසය ලියාතිබෙනවා කියන අදහසින්. ඔවුන් එය විශාල සොයාගැනීමක් ලෙස ලෝකයට ප්‍රකාශ කළා. එවිට පෙරදිග සිටින්නෙ ම්ලේච්ඡයන්ය යන අදහසේ සිටි අය මේ මතවලට එරෙහිවෙමින් මහාවංසය මිත්‍යාවක්ය කියා එය විවේචනය කළා. එවිට තීරණාත්මක ලෙස සටන් වැදුනේ මහවංසයේ විශිෂ්ටත්වය ගැන විශ්වාස කළ විල්හෙල්ම් ගයිගර් වැනි අයයි. මේ අය මහාවංසය ලංකාවේ ජාතික ඉතිහාස පොතය යන ඉතාම ඉහල තැන එය තැබුවා. අපේ සමහර කෙනෙක් මේ අදහස මුදුනින්ම පිළිඅරගෙන මහාවංසය අපේ ජාතික ඉතිහාස පොතයි කියමින් ඉංග්‍රීසින් විසින් ලබාදුන් දෑවැද්ද මහත් කැමැත්තෙන් තම කරට ගත්තා. අදත් ඒ අකාරයෙන් ම එය කරතබාගෙන යනවා. මේ නිසාම එයට එරෙහිවන්නන් බනින්නෙ මහාවංසය ලියූ මහානාම තෙරුන්ටයි. උන් වහන්සේ පක්ෂපාතී ඉතිහාසයක් ලිව්වාය කියා. මා මුලින් දක්වා ඇති පරිදි මහානාම තෙරුන් ජාතික ඉතිහාසයක් ලියා නැහැ. එනිසාම උන්වහන්සේ අද දවසේ ජීවත්වන අපේ වැරදිවලට බැනුම් ඇසිය යුතු නෑ. අප විසින් කළ යුත්තේ ඉංග්‍රීසින්ගෙන් සමහරෙකු විසින් මහාවංසය ඔසවා තැබූ තැනින් එය ගෙන එයට නිසිතැන නැවත හිමි කර දීමයි. යමෙක් අපේ යමක් අනවශ්‍ය ලෙස පහත්කොට සලකන විට අපි එයට එරෙහිවන ආකාරයටම අපේ යමක් අනවශ්‍ය ලෙස ඉහල තබා වර්ණනා කරන විටත් එරෙහි විය යුතුයි. නමුත් එය කරන එක අමාරුයි. එසේ වුවත් අප එය කළයුතුවන්නේ එසේ නැත්නම් බිහිවන්නේ විකෘති ඉතිහාසයක් වන බැවිනි. මේ සම්බන්ධයෙන් මා මීට පෙර ලියූ 'පිටස්තරයා ඉතිහාසය ගැන..' නමින් යුතු ලිපියද කියවන ලෙස ඔබගෙන් ඉල්ලනවා. එහි දී මා මතු කරන්නේ ඇත්තවශයෙන් සිදු වූ දේත් එයින් ලියා තබන දේත අතර පවත්නා බරපතල වෙනසයි. මේ වෙනස මහාවංසයට ද අන් ඔනෑම අයිතිහාසික මූලාශ්‍රයකට ද පොදුයි. මම හිතනවා මම ඔබේ ප්‍රශ්නයට ප්‍රමානවත් පිළිතුරක් දුන්නා කියා.
උපුටා ගැනීම පිටස්තරයා බ්ලොග් අඩවියෙනි