Wednesday, April 21, 2010


උදය ගම්මන්පිලගේ හැංගිමුත්තම්

අලුත් අවුරුද්ද සදහා කරනු ලබන කෙළි සෙල්ලම් බොහොමයකි. එහෙත් ඒවා අතර හැංගිමුත්තම් සෙල්ලම තිබුනු බවක් අපට මතක නැත. හෙළ උරුමය මෙවර අවුරුදු සමරන්නට යන්නේ මැරයන් සමග හැංගිමුත්තම් කෙළීමෙනි.

අප්‍රියෙල් 13 දා රාත්‍රියේ ජනහඩට සහභාගී වූ උදය ගම්මන්පිල අපූරු ප්‍රකාශයක් කළේ ය. ඒ තමන් මැතිවරණ ප්‍රතිඵල ගැන කළකිරී සිටිනා බවත් එයට ප්‍රධානම හේතුව මැරයන් හා තක්කඩියන් ජනතාව විසින් මැතිසබයට තෝරා ගැනීම බවත් ය.

ඒ වචන අදහාගත නොහැකිව මම ඇහැ පිසදා නැවත බැලුවෙමි. මට වැරැද්දක් වී නැත. ප්‍රකාශය කළේ ගම්මන්පිල තමා ය. මා දකින්නේ සිහිනයක්දැයි කොනිත්තාගෙන ද බැලීමි. නැත. මා දකිමින් සිටියේ සිහිනයක් නොව සැබෑ ජනහඩ වැඩසටහනක් ය.

ආශ්චර්යයන් මෙහි එකක් ‍නොව දෙකකි. එකක් නම් මැතිසබයට පත්ව ඇත්තේ මැරයන් හා තක්කඩියන් බව කීම ය. කට බොරු කිව්වත් දිව බොරුකියන්නේ නැතැයි සනාථ කිරීම සදහා එය කීවා දැයි එතුමාගෙන් අහන්නට පවා මට සිත්විය. ආශ්චර්යය, මැරයන් පාර්ලිමේන්තුවට පත්වීමම නම් නොවේ. ආශ්චර්යය එසේ පත් කර ඇති බවට ගම්මන්පිල පැකිලීමක් නැතිව පිළි ගැනීම ය.

ජනහඩ මෙහෙයවූ තැනැත්තා මැරයන් හා තක්කඩියන් කවුදැයි කියා හෝ කීයක් වෙත් දැයි කියා ගම්මන්පිලගෙන් අසනු ඇතැයි අපේක්ෂා කළ නමුත් එය එසේ සිදු නොවී ය. මැරයන් යයි කිව්වේ චම්පික රණවකටත් එක්ක දැයි ෂුවර් නැත. ඒ එතුමන් ගැන වඩාත් හොදින් දන්නවා ඇත්තේ පක්ෂයේ සමාජිකයින් නිසා ය. හෙළ උරුමයේ නායකයා මැරයෙක් වෙන්නට බැරි ය. ගම්මන්පිලට වැරදුනාවත් ද?

අනෙක් ආශ්චර්ය නම් එසේ මැරයන් තක්කඩියන් පත් කරලීමේ වගකීම ජනතාව පිට පැටවීම ය. ආණ්ඩුව අපේක්ෂකයින් හැටියට කවුරු යෝජනා කළේ වුව ද මනාප තුනක් ජනතාවට දී තිබෙන්නේ ඒ අතුරින් හරි අය තෝරා ගැනීමට ය. සියලුම දෙනා හොද අය වූයේ නම් ජනතාව අභිමුඛව ඔවුන්ගේ මනාපය ඉල්ලන්නට ආණ්ඩුවට අවශ්‍ය නැත (ඔය 225 දෙනා තෝරාගත්තේ කොච්චර අමාරුවෙන්දැයි ගම්මන්පිල සමහරවිට නොදන්නවා විය හැකි ය). කෙළින්ම මැති සබයට උන් පත් කරන්නට තිබිණි. ඔහොම එකක්වත් ජනතාවට තේරෙන්නේ නැත. එහෙම බැලුවහම ආශ්චර්ය වන්නේ ජනතාවට මෙවැනි අවස්ථාවක් දීලාත් ඒක තේරුම් බේරුම් කරගත නොහැකි වීම ය. මෙතරම් අවස්ථාවක් ජනතාවට දීලාත් ඒකෙන් ප්‍රයෝජන ගන්නට බැරි නිසා ගම්මන්පිලට දේශපාලනයම එපා වූවා දැයි සැකයක් මට ඇති විය. එහෙම වුනොත් එය කිනම් අපරාධයක් ද?

නිවටුන් කරන්නේ ඉහළට දෙකට නැමී වැදීමත් පහළට පිප්පීමත් ය. මැරයන් පත්වීම ගැන ඇතිවූ කම්පාව ඉහළට පෙන්වන්නට බැරිනිසා ඒක පහත් තැනින් වතුර බස්සනවා සේ බැස්සුවා දැයි කෙනෙකුට සැක හිතන්නට පුලුවන. ගම්මන්පිල වගේ ජාතියේ වීරයෙක් එහෙම පහත් පෙලේ වැඩක් කරාවි යැයි හිතන්නට ද බැරි ය.

එක අතකට මේ සියල්ල නිසා ගම්මන්පිලට දේශපාලනය එපා නොවීමත් ආශ්චර්යයකි. බැලුවහම ආශ්චර්යයන් වැහි වැහැලා ය. හෙට අනිද්දා ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීම මේ හේතු නිසා ‍නිකම්ම නිකම් ටොයිස් වැඩක් වන්නට ද ඉඩ තිබේ.

දැන් ඉතින් චන්ද දායකයා කළ මේ වරදින් ගම්මන්පිළටත් වඩා ප්‍රශ්නය ඇති වනුයේ සුපිරිසිදු පාර්ලිමේන්තුවක් ඇති කිරීමට සිහින මැවූ ජනපති තුමන්ට ය. ජනතාව මෙතරම්ම මෝඩයින් බව දන්නවානම් උන්නාන්සේ උන්ගේ මනාපය ඉල්ලන්නේ නැත. මදැයි ඕනෑ නැති එකක් ඉල්ලා ගම්මන්පිලගේ මහ නායකතුමා කරගත් ගොන්කම!

ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දන්නට බැරි ය.මේ අර්බුදය සම්බන්ධයෙන් සියලු කාරණා මොකක් හෝ දහං ගැටයක් ගසා සමතයකට පත් කරන්නට පුලුවන. බැරි එකම දෙය ගම්මන්පිල මෙන්ම සෙසු හෙළ උරුම සාමාජිකයෝ ද මේ තත්වයෙන් කළකිරී වනගතව බණක් භාවනාවක් කරගන්නට බැරිවෙලාවත් සිතුවොත් ය.

එහෙම වුනොත් අපට ඉතිරිවන්නේ පංචායුදයේ සරණ විතර ය. අනේ අපොයි රටට වෙන්නට යන නස්පැත්තියක්!

උපුටා ගැනීම Sri Lanka Guardian (Sinhala) බ්ලොග් අඩවියෙනි.


0 ඔබේ අදහස්:

  © Blogger templates Newspaper III by Ourblogtemplates.com 2008

Back to TOP