Wednesday, April 28, 2010

බ්‍රිතාන්‍යයන් අපව භේද කිරීමේ කතාව

මෙතෙක් මා සමග එකතු වූ සහෝදර ඔබ සැම දෙනා වෙත,
මේ කාර්යයේ දී හමුවූ ඔබ සැමදෙනාම දැක් වූ ප්‍රතිචාර මනුශ්‍යයත්වය පිළිබඳවද අපගේ මව්බිමෙ සාමය සහෝදරත්වය සම්බන්ධයෙන් ද මහත් වූ බලාපොරොත්තු ඇති කළා.

මා විශ්වාස කරන විදියට යුදභටයෙකු ලෙසින් මියගිය මගේ ලොක්කයියාගේ මරණයද තවත් දස දහස් ගණන් සිංහල/ දෙමළ තරුණ තරුණියන් ගේ මරණද වළක්වා ගන්න තිබුනා. ඒත් අපේ/ඔබේ දරුවන්ට එවැන්නක් උරුම නොකිරීමේ වගකීම අප සතුයි. ඒ වෙනු වෙන් නොසැලී පෙනී සිටින ලෙස ඔබ හැම දෙනාටම ආයාචනා කරනවා. මට වැටහෙන ලෙස අප ඉදිරියෙ අනතුරු දායක තත්වයන් තියෙනවා. සිංහල මාධ්‍ය ඒවා අපට පෙන්වා නොදෙන නිසා සහ ඒවා අපව මේලාවක (carnival) ජීවත් කරවීමට උත්සාහ කරන නිසා අපට ඒවා දැන ගැනීමට හැකියාවක් නෑ. වෙනත් තැනක ලියූ දෙයක් ඒ සඳහා සාධක ලෙස මෙහි දක්වනවා.

“මගේ ලිපියක මම ලිව්වා තව ප්‍රභාකරන්ල විශාල සංඛ්‍යාවක් බිහිවෙන්න අවශ්‍ය සාධක අපි ඉදිරියෙ තියෙනව කියල. ලඟදි හමුවුනු දෙමළ මිත්‍රයෙක් කිව්වා ලක්ෂතුනක් පමණ වූ දෙමළ අනාතයන් අතරින් දරුවන් පන්සියයක් තරම් වත් තමන්ගේ මව පියා හෝ ලඟම ඥාතියෙක් කොහෙන් හෝ වැ‍ටුනු ශෙල් වෙඩිල්ලකින් තුවාල ලබල නිසිප්‍රතිකාරයක් නැතිකමින් දවස් ගණන් වැල්ලේ ඉටිරෙද්දක් මත දුක් විඳල මැරෙනව දැකල තියෙනව කියල. මේ දරුවො හෙට ලොකුවනවා. මම දන්නේ නෑ ඒ අය කවුරු වෙයි ද කියල. ඒත් මේක භයානක තත්වයක්.”

අපි ඉතාම කල්පනා කාරීව සහ වගකීමෙන් කටයුතු කළයුතු බව මාගේ හැඟීමයි. යුද්ධය කිරීම හමුදාවේ කාර්යයක් වූවාට සාමය සහෝදරත්වය ඇතිකිරීම සහ එය පවත්වාගෙන යාම කළ හැක්කේ ඔබට සහ මට. එය අපගෙ අද දවසේ කාර්යයයි. වගකීමයි.

අප ජාතීන් ලෙස භේද වීම ඇරඹෙන්නෙ බ්‍රිතාන්‍යයන්ගෙ පාලන කාලේ. මෙහි ආ ඔවුන් විසිනුයි පළමු වතාවට මිනිසුන් ජාතීන් වශයෙන් වර්ගකොට ඔවුන්ගේ අතීතය ලියන්න පටන් ගන්නේ. ඒ තාක් අප අතර ජාතියමත ඇති වූ බෙදීමක් තිබුනේ නෑ. අප ඉතාම සහෝදරත්වයෙන් ජීවත් වුණා. බ්‍රිතාන්‍යයන් ඉංදියාවේ සහ ලංකාවේ මේ බෙදීම ඇති කළ ආකාරය මම ඉතාම කෙටියෙන් දක්වන්නම්.

ඉන්දියාවේ දී ඔවුන් මුලින්ම කළේ ක්‍රි පූ 1500-1000 අතර කාලය තුළ ඉන්දියාවට රුසියානු තණබිම් ප්‍රදේශවල සිට පැමිණි පැහැපත් සමකින්ද වඩා උස ශරීරයන්ගෙන්ද, පුළුල් නලල සහ තියුණු නාසයකින් හෙබි වඩා ශිස්ටජනතාවක් විසින් ඉන්දියාව පළමු වරට ශිස්ටසම්පන්න කළාය යන අදහස ඉදිරිපත් කිරීමයි. එකී ශිස්ට් ජනයාගෙන් කොටසක් රුසියානු තනබිම් ප්‍රදේශයේ දීම බෙදී යුරොපය දෙසට ගිය බවත් ඉන්ග්‍රීසින් එසේ ගිය අයගෙන් පැවත එන බවත් ඔවුන් තව දුරටත් කියා හිටියා. මේ 'ශිස්ට' ජනයා ඔවුන් "ආර්යයන්" කියා නම් කළා.
මේ අදහස ඉදිරිපත් කිරීමට ඔවුන් පදනම් කරගත්තේ සංස්කෘත භාෂාව හා ලතින් භාෂාව අතර පෙනෙන්නට තිබූ සමීප ඥාතීත්වයයි.

මේ අදහස ඉද්‍රිපත් කළ සැනින් ඉන්දියානු ජනයා අලුත් අකාරයකට බෙදෙන්න ගත්තා. උසස් කුළවල ජනයා තමන් මෙකී ආර්යයන් ලෙස තමන්ව හදුන්වාගත් අතර ආර්යයන් එනවිට ඉන්දියාවේ සිටි අනාර්ය ම්ලේච්ඡජනයා ලෙස වර්ග කෙරුනේ ඉන්දියාවේ සිටි දෙමළ ජනයා සහ අඩුකුලවලට අයත් ජනතාවයි. මේ ආකාරයට බ්‍රිතාන්‍යයන් ඉන්දීය ඉතිහාසය ලියන්නට පටන් ගත් සැනින් එහි ජනයා භේද වුණා. ඉන්දියාවේ දෙමළ ජනයා මේ 'ආර්ය' සංකල්පය පිළිගත්තේ නෑ. මේ අතර බ්‍රිතාන්‍යයන් විසින්ම ඉන්දු නිම්න (හරප්පා) ශිස්ටාචාරය සොයාගනු ලැබුවා. ඒ අනුව ඉන්දියාවේ ශිස්ට ජීවිතය ක්‍රි පූ 1500 වඩා පැරණි බවට තීරණය වුණා. මෙතෙක් 'ආර්ය' සංකල්පය නොපොළිගෙන සිටි ඉන්දියාවේ දෙමළ ජනයා සහ අඩුකුළ ජනයා මේ සොයාගැනීමත් සමග ඒය පිළිගන්නට පටන් ගත්තා. එනම් ක්‍රි පූ 1500-1000 අතර ‘ආර්යයන්’ ඉන්දියාව ආක්‍රමණය කළ බවත් එහිසිටි ස්වදේශීය දෙමළ/අඩුකුළ ජනයා යටපත් කළ බවත් එහෙත් එකී ස්වදේශීය ජනයා අශිස්ට ජන පිරිසක් නොව ඉතා දියුනු නගර ඉදිකරගෙන ජීවත් වූ ඉතා ශිස්ට ජනපිරිසක් බව. මේ අනුව නැවත වතාවක් ඉන්දියානුවන් භේද භින්න උනා හරප්පා ශිස්ටාචාරයේ අය්තිය වෙනුවෙන්. එකී භේදයට මුල් වූයේත් බ්‍රිතාන්‍යයන් හඳුන්වා දුන් "ආර්ය" සංකල්පයයි.

ඉන්දීය ඉතිහාසයෙ යුග බෙදීම කළේත් ඉන්දියානුවන් භේද භින්නවන ආකාරයට. ඔවුන් යුගතුනක් හඳුන්වා දුන්න. ඉන්දීය ඉත්හාසයේ හින්දු යුගය, මුස්ලිම් යුගය සහ බ්‍රිතාන්‍ය යුගය ලෙස. මෙහි දී හින්දු යුගය ස්වර්ණමය යුගය ලෙස දැක්වුණු අතර මුස්ලිම් යුගය එකී ස්වර්ණමය යුගය විනාසකළ යුගය ලෙස දැක්වූවා. මෙයින් හින්දු මුස්ලිම් භේදය බරපතල ලෙස ඇති කළා. ඔවුන් කිසියම් තර්කානුකූල ආකාරයකට මෙකී යුග බෙදීම කළා නම් අනිවාර්යයෙන්ම ඉන්දීය ඉතිහාසයෙ බෞද්ධ යුගයක් ද තිබිය යුතුයි. බුදුන්ගේ කාලයේ සිට බෙංගාලයේ පාල රජුන්ගේ අභාවය තෙක් එක් එක් මට්ටමින් බුදු දහම එහි පැවතුණා. නමුත් බෞද්ධයුගයක් මෙකී ඉතිහාසය ලිවීමට ඇතුලත් කොට නැත්තේ එවැනි යුගයකින් ප්‍රමෝදයට පත් වීමට හෝ භේදයක් ඇති කිරීමට බෞද්ධ ජනතාවක් ඉන්දියාවේ ජීවත් නොවීම විය හැකියි.

ලංකා ඉතිහාසය ලිවීමේ දීත් මේ දේම සිදුවුණා. ඉන්දියාවට පැමිණි ආර්යයන් එහි නොයෙක් අත පැතිර යාමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රි පූ 600 දී ලංකාවටද පැමිණ ජනපද ඉදිකරගත් බව කියා සිටියා. ඒ අනුව සිංහල ජාතිය යනු මෙකී රුසියානු තණබිම්වලින් පැමිණ ඉන්දියාවේ ජනපද ඉදිකරගත් ‘ඊනියා ආර්යයන්’ගෙන්ම පැවත එන ඔවුන්ගේ ඥාතීන්. මේ අනුව ඔවුන් ළඟම පිහිටි දකුණු ඉන්දියාව සමග කිසි සම්බන්ධයක් නැති ජාතියක්.

ලංකා ඉතිහාසයේ යුගබෙදීම සිදුකළෙත් මේ ආකාරයට අප අතර බෙදීම් ඇතිවන ආකාරයට. ලංකා ඉතිහාසය ප්‍රධාන යුග දෙකකට බෙදනු ලැබුවා. ඒ උතුරු ඉන්දියානු යුගය සහ දකුණු ඉන්දියානු යුගය වශයෙන්. වෙනත් විදියකට කියනව නම් ලංකා ඉතිහාසයේ උතුරු ඉන්දියානු යුගය යනු එහි ස්වර්ණමය යුගයයි. ඉන්දීය ඉතිහාසයෙ 'හින්දු යුගය' මෙනි. එසේම ඒ ස්වර්ණමය යුගය නිමාවන්නේ දකුණු ඉන්දියානු යුගය ඇරඹීමෙනි. මේ අනුව උතුරු ඉන්දියානු සම්භවයකින් පැවත එන උසස් සිංහල සංස්කෘතිය බිඳ දමන්නේ දකුණු ඉන්දියාවෙන් ආ ආක්‍රමණික දෙමළ ජනයායි. ඉන්දියාවේ හින්දු මුස්ලිම් ජනයා බෙදු ලෙසම ලංකාවේ සිංහල දෙමළ ජනයා බෙදුවේ ඔය ආකාරයටයි.

ඉන්දියාවේ සහ ලංකාවෙ මෑතකාලීන ඉතිහාස අධ්‍යයනයන් දෙස බලන විට පෙනෙන් වැදගත්ම වෙනස නූතන ඉන්දීය ඉතිහාසඥයන් බ්‍රිතාන්‍යයන් ලියූ ඉතිහාසය බරපතල ලෙස ප්‍රශ්න කිරීම සහ අලුතින් වඩාත් විද්යාත්මක ඉතිහාස්යක් ලිවීමට උත්සාහ කිරීමයි. අද ඉන්දියාවේ කිසිස් තැනක ආර්යයන් පැමිණියේය යන මතය උගන්වන්නේ නැත. ඒවෙනුවට බ්‍රිතාන්‍යයන් එබඳු අදහසක් ඉදිරිපත් කළේ ඇයි ද යන්න ද එහි ප්‍රතිඵල ද සාකච්ඡා කරනු ලැබේ. නමුත් ලංකාවේ තත්වය හිනා යන සුලුයි. තාමත් අපෙ පාසැල්වල විතරක් නොව ඇතැම් විශ්වවිද්‍යාලවලද ඉන්දියාවට ආර්යයන් ආ බවත ඔවුන්ගෙන් යම් පිරිසක් ලංකාවටද පැමිනීමෙන් සිංහල ජාතියද එම සංස්කෘතියද ඇරඹුනු බව උගන්වනු ලබයි.

මෙතැන දී මගේ අත් දැකීමක් විස්තර කරන්නම්. මම ඉන්දියානු විශ්වවිද්‍යාලයක මාස්ටර්ස් කරන කාලයේ ලංකාවෙන් අලුත් සිංහල ශිෂ්‍යාවන් දෙදෙනෙකු එම විශ්වවිද්‍යාලයට පැමිණියා. ටික කලක් ගිය පසු මා වෙත පැමිනි ඔවුන්
"හරි වැඩේනෙ.. මෙහෙ කෙල්ලො අපිට සලකන්නෙ අපි සවුත් ඉන්ඩියන්ස්ලා හැටියට.. මුලින් අපිව ගණන් ගත්තේවත් නෑ". කියල මහත් දොම්නස් මූනෙන් කියා හිටියා.

"ඉතින් මොකක්ද ඒකෙ ඇති ව‍රැද්ද?" මම ඇහුවා.

"අපි දකුණු ඉන්දියන් යැ?.. අපි පැවත එන්නෙ උතුරු ඉන්දියන් ආර්යයන්ගෙන්නෙ.." අමනාප මුනෙන්ම එක සහෝදරික් කිව්ව. මට හිනාව නවත්ත ගන්න බෑ.

"ඉතින් අපි උතුරු ඉන්දියානුවන් ගෙන් පැවත එනවා නම් අපි උතුරු ඉන්දියාවට ආවම උතුරු ඉන්දියාවේ මිනිස්සු අපිව වැළඳ ගන්න ඕනනේ,.. ඔයාල අපි වගේමයි කියල. ඇයි ඒ අය අපිට දකුණු ඉන්දියානුවො හැටියට සලකන්නේ?"

"ඒක තමයි අපිටත් තියෙන ප්‍රශ්නෙ"

"ඒක ප්‍රශ්නෙ නෙවෙයි. ඒක තමයි පිළිතුර. අපිව හැබෑ අපෙන් ඈත් කරල අපිට කිසි සම්බන්ධයක් නැති එහෙමත් නැත්නම් සාපේක්ෂවශයෙන් අඩු සම්බන්ධයක් ඇති තැනකට ගැටගහල තියේනවා. මොකකදෝ සැගවුණු අරමුණක් වෙනුවෙන්" මම කිව්වා.

අපි දකුණු ඉන්දියානු මානව වර්ගයකට ළඟ නෑකම් කියන බව ඇහුවාම ඔයාල අතර සමහර කෙනෙක් උනත් කළබල් වෙයි. මොකද මටත් ඒහෙම උනා මුලින්. මොකද තරිඳුගේ වචනෙන් කියනවා නම් අපේ මොළ හෝදල ත්යෙන නිසා. එහෙම තත්වයක් ඇතිවුනොත් මහාවංසය සෙල්ලිපි හා අපේ ජාතියේ ආරම්භය ගැන ලියා ඇති පර්යේෂණ ලිපි සොයා කියවීමට කාලය නාස්ති නොකර වහාම කන්නාඩියක් ඉදිරියට යන්න. එය ඔබට ඇත්ත කියාවි.

මාගේ මූලික තර්කය මේ ඉතිහාසකරණය තුළ අප දෙපිරිස කොතරම් කෘත්‍රිම ලෙස එකිනෙකාගෙන් ඈත්කොට ඇත්ද යන්නයි. සමහරු මහාවංසයට බැනවදිනවා එය පක්ෂපාතී ඉතිහාසයක් ලියා ඇතිබව කියමින්. නමුත් මම කිසිදා එය කරන්නෙ නෑ. හේතුව මහා වංසය අපේ ජාතික ඉතිහාස පොත නොවෙයි. මහාවංසකරු එවැන්නක් ලියන්න උත්සාහ කරල්ත් නෑ. ඔහු කළේ තමන් අයත් ආයතනය එනම් අනුරාදපුර මහා විහාරය වෙනුවෙන් එහි ඉතිහාසය ලිවීමයි. එහිදී තම ආයතනය වෙනුවෙන් පක්ෂපාතීවීමේ වරද කුමක්ද? අබයගිරිවාසී (මහාවිහාරයේ තරඟකාරී ආයතනය) භික්ෂූන්ද තම ආයතනයෙ ඉතිහාසය ලියන්නට ඇත. නමුත් ඒ කෘති අද ඉතිරිව නෑ. තව රුහුනෙ විසූ භික්ෂූන් "රෝහනට්ඨකතා මහාවංසය" නම් කෘතියක් කළ බවත් කියැවෙනවා. නමුත් ඒයද අද දකින්න නෑ. මේ සියල්ල තිබුනා නම් වඩාත් තොරතුරු අපට ලබාගන්න තිබුණා. මහාවංසය රටේ ජාතික ඉතිහාස පොත බවට පත්කොට මහා ඉහල තැනක තැබුවේ බ්‍රිතාන්‍යයන්. එය ඒ ආකාරයෙන්ම අදත් කරතියාගෙන යන නිසයි ඇතැම් දෙනා මහාවංස කතුවරයාට නිරපරාදේ බනින්නේ.

මා මේ සම්පූරණ ලිපියෙන් උත්සාහ කළේ අප ජාති දෙක කෘත්‍රිම ලෙස බෙදා ඇති ආකාරය සාකච්ඡා කිරීමයි. මාගේ අදහස් සමග එකඟ නොවෙන අය ඉදිරිපත් කරන යහපත් විවේචන වලට මම කැමතියි. ඒත් මීට පෙර මාගේ අදහස් සමග එකග නොවූ අයෙක් මට "මහ මූසලයෙක්" කියා බැන වැදුනා සේ බනින්න නම් එපා. මාත් සංවේදී හදවතක් ඇති කෙනෙක්..! තවම කිසිම නළුවෙක් නිළියක් රූපවාහිනියට ඇවිල්ල මං ගැන එහෙම නොකිව්වට... :D
ජුලි අග මාගේ නිබන්ධය ඉදිරිපත් කිරීමට ඇති බැවින් එතෙක් නැවත් පොස්ට් එකක් ලියන්නෙ නෑ. ඒත් මේ ලියා ඇති දේවල් ආශ්‍රයෙන් සංවාදයක් ඔබලා ආරම්බ කරනවා නම් සතු‍ටුයි. ජුලි මාසයෙන් පසු නැවත ආයෙ ලියනවා.


උපුටා ගැනීම පිටස්තරයා බ්ලොග් අඩවියෙනි.

0 ඔබේ අදහස්:

  © Blogger templates Newspaper III by Ourblogtemplates.com 2008

Back to TOP