Wednesday, April 21, 2010

ලංකාවේ ජාතික ධජය - අර්බුදයක සංකේතයක් වශයෙන්

අවවාදය- මෙය ජාතික ධජය පිලිබද ඊනියා "අපහාසයක් නොවේ".ඒ පිලිබද කෙරෙන දේශපාලන විශ්ලේෂනයකි.දේශපාලන විශ්ලේෂන බුද්ධිමය ලෙස භාරගත නොහැකි ජාත්‍යන්ධයන් මෙය නොකියවත්වා!

ලාංකිකයන්ට ආරම්භයේ සිටම ලංකාවේ ජාතික ධජය පිලිබද පොදු සම්මුතියක් නොපැවතින.ඇත්ත වශයෙන්ම ලංකාවේ ජාතික ධජයේ ඉතිහාසය පිලිබද කතාව අපූර්ව අන්දමට ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වාර්ගික ධ්‍රැවීකරනය පිලිබද කතාවට සමාන වේ.
ලංකාව ඩොමිනියන් පන්නයේ නිදහසක් ලැබීමට යන බවට වූ පුවත සත්‍යයක් යැයි හැගෙන්නට වන් කාලයේ සිටම "අභිනව" රාජ්‍යයේ ජාතික ධජය කවරක් විය යුතුද යන්න ගැන දේශපාන කවයන් තුල සාකච්ඡාවන් මතු විය.40 දශකයේ අග භාගයේ මෙම සාකච්ඡාවන් වාද විවාද වලට පෙරලින.ජාතික ධජය කුමක්ද යන්න තීරනය කිරීමට ඩී ඇස් සේනානායක කමිටුවක් පත් කල අතර ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජධානියේ සංකේතය වූ සිංහ ධජය ජාතික ධජය විය යුතු බවට එහිදී යෝජනා විය.
කෙසේ වෙතත් සුලු වාර්ගික දේශපාලකයන් මෙම යෝජනාව සම්බන්ධයෙන් එකගතාවයක් නොදැක්වීය.සිංහ සලකුන ධජයට යොදනවා නම් හින්දු ආගමේ පූජනීය සංකේතයක් වූ ගවයා ද ඒ සමගම ධජයට භාවිතා කල යුතු බවට ඇතැම් ද්‍රවිඩ පාර්ශවයන්ගෙන් යෝජනා ඉදිරිපත් වූ බව මෙම ලේඛකයා අසා තිබෙන කරුනකි.
කෙසේ වෙතත් නිදහස ලැබුවා යැයි කියන 1948 පෙබරවාරි 04 වන දා වනවිටද ජාතික ධජය පිලිබද අවසන් සම්මුතියක් නොපැවතින.1948 පෙබරවාරි 11 දින ප්‍රථම පාර්ලිමේන්තුව විවෘත කරන දිනයේ බ්‍රිතාන්‍යයේ ධජය සමග සිංහ ධජය ඔසවන ලදී,අද තිබෙන ජාතික ධජයේ මූලික ස්වභාවය පිලිබද එකගතාවයක් ඇතිවන්නේ 1951 දීය.1951 මාර්තු 02 දා පත්කරන ලද විශේෂ කමිටුවක් විසින් දෙමල හා මුස්ලිම් ජාතින් නියෝජනය කිරීමට යැයි පවසමින් තැඹිලි පාට හා කොල පැහැති තීරු දෙකක්ද සහිතව සිංහ කොඩිය සංශෝධනය කෙරින.1972 මෙය තවදුරටත් වෙනස් වූ අතර "බෞද්ධාගම නියෝජනය කරන්නට" බෝ කොල හතරක්ද ධජයේ කොන් සතරට එකතු වී තිබුනි.
මේ සම්බන්ධයෙන් උපහාසාත්මක සදහනක් කල ( දැනට මැදිවියේ පසුවන ) ලේඛකයාගේ ද්‍රවිඩ ජාතික ඥාතියෙක් පැවසුවේ "අපි දන්නෙත් නැහැ.ඊළග දවසෙ උදේ ඇහැරිල බලන කොට ජාතික කොඩියට කොහෙන්දෝ බෝ කොල හතරකුත් එකතු වෙලා" යනුවෙනි.

ලංකාවේ ජාතික ධජය අතිශය සංකීර්න එකකි යන්න ගැන විවාදයක් තිබිය නොහැක.සිංහ රූපයේ කේශර වලින් ඥානය,ධ්‍යානය වැනි ගුනාංග පෙන්නුම් කෙරේ,සිංහයාගේ වලිගයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්නුම් කෙරේ,නාසයෙන් බුද්ධිය (intelligence)නිරූපනය වේ ආදි වශයෙන් සංකේතමය ලෙස සංකීර්න අර්ථාවලියක් ජාතික ධජයට ලබා දී ඇත.සදකඩපහන වැනි නිර්මාන වල තිබෙන සංකීර්න අර්ථාවලිය සමග මෙය ඇතැම් විට සමාන කල හැක.කෙසේ වුවද මේවා සම්බන්ධයෙන් එතරම් ගැටලුවක් පැන නොනගී.
ගැටලුව පැන නගින්නේ ජාතික ධජය තුල ගැබ් වී තිබෙන වාර්ගික අසමානතාවය හා වාර්ගික ධ්‍රැවීකරනය පිලිබද සංඥාව මතයි.

ඉංග්‍රීසින් ඒමට පෙර ලංකාව යනුවෙන් "රාජ්‍යයක්" නොපැවතින.තිබුනේ එකිනෙකට හුදෙකලාව පාලනය වූ වැඩවසම් රාජධානි කිහිපයකි."අපි ලාංකිකයො" යන සවිඥානිකත්වය එවකට නොතිබුන අතර "අපි කන්දෙ රාජ්ජයෙ යටත් වැස්සො","අපි යාපන රාජධානියේ අය" ආදි වශයෙන් රාජධානිමය මානසිකත්වයකි එවකට පැවතුනේ.ලංකාව අවුරුදු 2500ක් පුරා "ඒකිය" රාජ්‍යයක් ලෙස පැවතින යන්න අමුම අමු ප්‍රලාපයකි."ඒකීය" රාජ්‍යය වූ කලී උත්පත්තියෙන්ම යුරෝපා ධනේශ්වර සංකල්පයකි.ධනවාදය කියන සමාජ ක්‍රමය ඒමට පෙර ලංකාවේ නොව ලෝකයෙ කොතැනකවත් "ඒකීය" රාජ්‍යය යනුවෙන් දෙයක් තිබුනේ නැහැ.තිබුනේ ප්‍රදේශ පදනම උඩ විසිරිලා සකස් වුන වැඩවසම් රාජධානි පමනි.
නිදසුනක් ලෙස මධ්‍යකාලීන ජර්මනියේ කුඩා කුඩා රාජධානි සිය ගනනක් තිබුනි.ඉන්දියාව යනුවෙන් රටක් නොතිබුන අතර අද ඉන්දියාව යනුවෙන් හදුන්වන භූමියේ රාජධානි සිය ගනනින් විහිදී තිබුනි.ලංකාව සම්බන්ධයෙන් ගත්තද එය එසේමය.ඉතිහාසය පුරා අද ලංකාව කියල හදුන්වන භූමියේ පැවතුනේ ප්‍රාදේශීය අනන්‍යතා මත හැදුන රාජධානි ගනනාවකි.

වැඩවසම් යුගයේ මේ හුදෙකලා භාවය වෙනස් කරන්නේ ධනවාදය කියන සමාජ ක්‍රමය විසින්.ප්‍රාග්ධනය වැඩි වැඩියෙන් වෙලද සම්බන්ධතා ඉල්ලා සිටිනවා.ප්‍රාග්ධනය ව්‍යාප්ත වෙන තරමටයි ධනවාදය පවතින්නේ.මේ හින්ද හුදෙකලා රාජධානි වෙනුවට විශාල භූමි කලාපයක් එකට එකතු කරන,එකට බදින විශාල මධ්‍යගත රාජ්‍යය ධනවාදයේ වර්ධනය එක්ක නිර්මානය වෙන්න පටන්ගන්නවා.කුඩා කුඩා රාජධානි තිබීම ධනවාදයට බාධාවක්.මේ නිසා ජර්මනිය වැනි රටවල කුඩා වැඩවසම් රාජ්‍යයන්ට එක් තනි රාජ්‍යයක් විදිහට එක්සත් වෙන්න ධනවාදය විසින් බලකරනවා.අමෙරිකානු භූමියේ තිබුන ජනපද රාජ්‍යයන් එක රාජ්‍යයක් විදිහට මධ්‍යගත කරන්නේ විශාල තනි වෙලදපොලක් පිලිබද ධනවාදයේ උවමනාව විසින්.
ලංකාව නැමැති වැඩවසම් දූපතට ධනවාදය පැමිනෙන්නේ අධිරාජ්‍යවාදීන් හරහා.ලංකාව එකිනෙකට හුදෙකලා රාජධානි ගනනාවකින් සමන්විත වීම ධනවාදයේ වර්ධනයට බාධාවක් වන බැවින් ධනවාදය විසින් මෙම රාජධානි යා කොට ලංකාව යන තනි මධ්‍යගත රාජ්‍යය නිර්මානය කරනවා.
මේ අනුව නලින් ද සිල්වා ඒකීය රාජ්‍යයේ නිර්මාතෘ ලෙස වන්දනාමාන කල යුත්තේ පරාක්‍රමබාහුව නෙමෙයි.රොබට් බ්‍රවුන්රිග්වයි!

ලංකාව නැමැති දූපතේ ලංකාව කියන ජාතික රාජ්‍යය නිර්මානය කලාට ධනවාදය මෙහිදී අසමත් වන එක තැනක් තිබෙනවා.ජාතිකත්ව විදිහට බෙදිල තිබුන මෙහි වැසියන්ගේ මානසිකත්වයන් "ජාතික" පදනමකින් එක්සත් කිරීමට අධිරාජ්‍යවාදීන් වගේම,අධිරාජ්‍යවාදීන්ගෙන් පසු මෙරට බලය ගන්න දේශීය ප්‍රභූ පංතියත් අසමත් වෙනවා.ඒ කියන්නෙ ලංකාව කියල ජාතික රාජ්‍යයක් හැදුනට ලාංකීය කියල "ජාතියක්" නිර්මානය කරගන්න ඉතිහාසය තුල නොහැකි වෙනවා.
මේ තත්වය ඇමෙරිකා එක්සත් ජනපදය වගේ දියුනු ධනවාදි රටක් සමග සැසදිය හැකියි.එම රටවල ස්පාඥ්ඥ භාෂාව,ඉංග්‍රීසි භාෂාව වහරන නා නා විද ආගම් අදහන විවිධ ජාතිකත්ව කොටස් ජීවත් වෙනවා.නමුත් මේ අනන්‍යතා තියෙන අතරේම අපි අමෙරිකානු ( we are american) කියන පොදු මනෝභාවය සාර්ථක ලෙස වර්ධනය වෙලා තියෙනවා.අඩුපාඩු මධ්‍යයේ වුනත් ඉන්දියාවේ මේ තත්වය සාපෙක්ෂව දකින්න පුලුවන්.
නමුත් ජාතිකත්ව හා ආගමික මනෝභාවයන් පිලිබද අගයන් ද්විතික කරමින් "ජාතික" මනෝභාවයක් ලංකාව තුල ගොඩනැගෙන්නෙ නැහැ.ඉංග්‍රීසින් ගෙන ගිය බෙදා පාලනය කිරිමේ ව්‍යාපෘතිය,මෙරට සිංහල හා දෙමල ප්‍රභූ පංතිකයන් තුල තිබුන නොදියුනු හා පසුගාමී මානසිතක්වය උඩ ජාතික ව්‍යාපාරයක් යනුවෙන් දෙයක් ගොඩනොනැගීම මේ තත්වයට හේතු වූ සාධක ලෙස නිරීක්ෂනය කල හැකියි.

ජාතික කොඩියේ අර්බුදයේ මූලය තේරුම් ගන්න අවශ්‍ය වෙන්නෙත් මේ පසුබිම තුල.
"ජාතික" ධජයක් නිර්මානය කල යුතුයි කියල යෝජනා වෙද්දි සංකේතයක් විදිහට නිර්දේශ වෙන්නෙ පැරනි "රාජධානියක" සංකේතය වුන සිංහ කොඩිය.ලංකාව කියන අභිනව රාජ්‍යයේ සංකේතය විදිහට එක්තරා වාර්ගිකත්වයක සංකේතය යෝජනා වීම කෙතරම් උචිතද යන්න කල්පනා කර බැලිය යුතුයි.අවසානයේදී සිංහයාට ධජයේ හතරෙන් තුනක පමන විශාල ඉඩක් වෙන්කොට සුලු ජාතීන් නියෝජනය කරන්න යැයි පවසමින් කුඩා තීරු දෙකක් ඒ වෙනුවෙන් ඉතිරි කර තිබෙනවා.මේ සංකේතයම වාර්ගික අසමානතාවය පිලිබද කදිම සංඥාවක් නොවන්නේද?
නේෂන් පුවත්පතට ලිපියක් සපයන විහංග පෙරේරා නැමැති ලේඛකයා වරෙක සිංහයා සුලු ජාතින්ගේ තීරු දෙක දෙස අසිපත මානාගෙන සිටීම මහ ජාතික අධිපතිවාදයේ සංකේතයක් බදු යැයි ඔහුගේ මිතුරෙක් උපහාසාත්මකව පවසා ඇති බව සදහන් කරනවා.තරමක අතිශයෝක්තියක් විය හැකි වුවත් ඉන් පැවසෙන කාරනයෙහිත් අර්ථයක් නැතිවා නොවේ!

ධජයට අනවශ්‍ය ආගමික අර්ථයක් දීම වැඩවසම් අගතීන් ඉක්මවීමට ලාංකීය දේශපාලනය අසමත් වුන ආකාරය පිලිබද තවත් කදිම නිදසුනක්.සිංහයාගේ වලිගයේ පවා තිබෙන්නේ බුදුදහම නැමැති එක් ආගමක අර්ථයක්.72 අලුතෙන් එකතු කල බෝ කොල සතර මෙතනදී කැපී පෙනෙනවා.එය අවශ්‍යතාවයක් මත එක්කල දෙයකට වඩා බහුතරයක් දෙනාගේ ආගමික හැගීම් කුල්මත් කර ජනප්‍රිය වාසියක් ගැනීමේ අදහසින් කල ක්‍රියාවක් යැයි සිතීමට තිබෙන කරුනු කාරනා වැඩියි.බුදු දහම යනු 70 %ක් දෙනා අදහන ආගම පමනයි.එම ආගම නොඅදහන තවත් 30 % ක් ( ඒ කියන්නෙ ලක්ෂ ගනනක් ) රටේ ජිවත් වෙනවා.එවැනි සන්දර්භයක එක් ආගමක් පමනක් අතිශය විශේෂ කිරිම අසමානතාවයක් නොවේ නම් අන් කවරක්ද?

විශේෂයෙන් දෙමල හා මුස්ලිම් ජනයා සමග කතාකරන විට ඔවුන්ගෙන් සැලකිය යුතු ප්‍රමානයක් ජාතික ධජය "ජාතික' අර්ථයකින් නොසලකන ආකාරය නිරික්ෂනය කරන්න පුලුවන්.තමන්ට අඩු තැනක් ලබාදෙන සංකේතාවලියක් තමන්ගේ සංකේතාවලියක් ලෙස පිලිගැනීමට ඔවුන් මැලිවීම ස්වභාවිකයි.සියලු දෙනාව එකග කරවා ගත හැකි සංකේතයක්වත් නිර්මානය කරගැනීමට නොහැකි වීම ලංකාවේ පසුගාමි ධනවාදය කෙතරම් දුර්වලද කෙතරම් අබ්බගාතද යන්න පෙන්වන විශිෂ්ට නිදර්ශනයකි.
ස්වකීය ඓතිහාසික කාර්යයක් වන ජාතික රාජ්‍යය නිර්මානය කිරීම හෝ සාර්ථක ලෙස කරගැනීමට අසමර්ථ වූ සමාජ ක්‍රමයක් වන ලංකාවේ ධනේශ්වර ක්‍රමය, අතිශය දුබල ක්‍රමයක් වශයෙන් ඉතිහාසගත කල යුතුය!
(උපුටා ගැනීම රාමචන්ද්‍රගේ අඩවිය බ්ලොග් අඩවියෙනි.)

0 ඔබේ අදහස්:

  © Blogger templates Newspaper III by Ourblogtemplates.com 2008

Back to TOP